බයිඩන්ට බලය පවරන්න ට්‍රම්ප් කැමතියි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිල වශයෙන් සිය ප්‍රතිවාදියා වන ජෝ බයිඩන්ට බලය පැවැරීමට කැමැත්ත පළ කළේය.

ඒ අනුව, ඇමෙරිකන් රාජ්‍ය පරිපාලන ආයතනයේ, ට්‍රම්ප්ගේ පරිපාලන කණ්ඩායම, බයිඩන්ගේ පරිපාලන කණ්ඩායම බලය පවරා දීම නිල වශයෙන් ආරම්භ විය. ඒ, පසුගිය 3 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ජෝ බයිඩන් බව නිල වශයෙන් පිළිගනිමිනි.

බලය පවරා දීමට කැමැත්ත පළ කළත්, ට්‍රම්ප් කිසිදු අවස්ථාවක, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ බයිඩන් යැයි පවසා නැත. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 2021 ජනවාරි 20 වැනිදාය. ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට බලය පවරා දීම ඊට පෙර සම්පූර්ණ කළ යුතුය.

රාජ්‍ය පරිපාලන සේවා ආයතනයේ පරිපාලන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එමිලි මර්ෆි ය. පරාජය බාර ගැනීමටත්, බලය පැවැරීමටත් ට්‍රම්ප් අදිමදි කරද්දී, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ඇයට විවේචන සහ දෝෂාරෝපණ එල්ල විය.

‘එමිලි මර්ෆි රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඇයට නොයෙකුත් චෝදනා එල්ල වුණා. දෝෂාරෝපණ එල්ල වුණා. ඇය සහ ඇගේ පවුලේ අයට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් හිරිහැර සිදුවුණා. ඇයට හෝ රාජ්‍ය පරිපාලන සේවා ආයතනයේ නිලධාරීන්ට හෝ කෙණෙහිලිකම් එල්ල වෙන්න දෙන්න බෑ. ඒ නිසා නඩු කටයුතු සිදුවෙමින් පැවැතියත්, බලය පැවැරීමක් කිරීමට මා එකඟ වුණා’ යැයි ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

කෙසේ නමුත් එමිලි මර්ෆි පවසා ඇත්තේ තමන් කටයුතු කරන්නේ ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුකූලව බවය. බයිඩන් පාර්ශ්වයට තමන් බලය පැවැරීමේ කටයුතු ආරම්භ කළේ ට්‍රම්ප්ගේ කැමැත්ත අනුව නොවන බවත් ඇය පවසා ඇත.

‘ජනාධිපතිවරණය දූෂිතයි. මාගේ විශ්වාසය එයයි. ඡන්ද ප්‍රතිඵලයට එරෙහිව මා සටනක් දුන්නා. කෙසේ වෙතත්, මා රටේ යහපත ගැන හිතන්න ඕනෑ. ඒ නිසා එමිලි මර්ෆි, බයිඩන්ගේ කණ්ඩායම සමඟ සාකච්ඡා පවත්වා බලය පවරාදීමේ ක්‍රියාවලියට යොමු වේවි.’ යැයි ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි. එමිලි මර්ෆි  ජනාධිපති ධුරයට තේරී පත් වුණු ජෝ බයිඩන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 6.3 ක ප්‍රතිපාදන වෙන් කෙරුණු බව ද වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS