බයිඩන් මැතිවරණ රැලි නවත්වයි



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගනිමින්, ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දෙමින්, මින් ඉදිරියට මැතිවරණ රැලි කිසිවක් පවත්වන්නේ නැතැයි ඇමෙරිකානු ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙම 2020 වසරේ නොවැම්බරයේය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සම්පූර්ණ කිරීමට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. ජෝ බයිඩන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂකයාය.

‘ඇමෙරිකාවේ කොවිඞ් 19 වයිරස වසංගතයේ අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ. වයිරස තර්ජන පැවැතියත් මෙම නොවැම්බර් 3 වැනිදා අප ජනාධිපතිවරණය පවත්වනවා. මැතිවරණ රැලි පැවැත්වීම කොවිඞ් 19 වයිරසය තවත් උත්සන්න වීමට හේතුවක් වේවි යැයි සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව, වෛද්‍යවරුන් බොහෝ දෙනකු මට පෙන්වා දුන්නා. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ පමණක් නොව සියලුම ඇමෙරිකානුවන්ගේ යහපත ගැන අප බලන්න ඕනෑ. ජනතාව අමාරුවේ දමා ඡන්ද වාසි ගන්න මට ඕනෑ කමක් නැහැ. ඒ අනුව මා කිසිදු මැතිවරණ රැලියක් පවත්වන්නේ නැහැ’ යැයි ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.

ජෝ බයිඩන් මෙසේ පැහැදිලි කළේ ඩෙලවෙයාර් හි පැවැති මාධ්‍ය හමුවකදීය. ඇමෙරිකන් ජනාධිපතිවරණයකදී ප්‍රතිවාදී අපේක්ෂකයකු සිය ජන රැලි නැවැත්වීමට තීරණය කළේ ඇමෙරිකන් ඉතිහාසයේ පළමු වරට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අපේක්ෂක ජෝ බයිඩන් ගත් මෙම තීරණය ඩිමොක්‍රටික් පක්ෂයේ සෑම දෙනාගේම සහාය හිමිවී ඇතැයි ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS