පෘතුගාල ජනපතිට සෝසාට කොරෝනා



පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙල්ලෝ දෙ සෝසා ට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

පෘතුගාලයේ ජනාධිපතිවරණය ලබන ජනවාරි 24 වැනිදා පැවැත්වෙන අතර, 72 හැවිරිදි සෝසා සිය දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් ඊට ඉදිරිපත්වීමට සූදානමින් සිටී.

වෛද්‍යවරුන් පවසන්නේ, සෝසාගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවය. මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ලිස්බන් නුවර පිහිටි ජනපති මන්දිරයේ නිරෝධායනය වීමට ජනාධිපතිවරයාට සිදුවී ඇත.

තමන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ඇන්තෝනියෝ කොස්ටා ට මෙන්ම පෘතුගාල සෞඛ්‍ය ඇමැතිනී මාර්තා ටෙමින්ඩෝ ට දන්වා ඇත.

පසුගිය ජනවාරි 5 වැනිදා ජනාධිපති මාර්සෙලෝ රෙබෙල්ලෝ දෙ සෝසාගේ සමීපතමයකු ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැණින. ඒ අනුව ජනවාරි 6 වැනිදා සෝසා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කෙරුණි. එහිදී ඔහු වයිරස ආසාදිතයකු නොවන බව තහවුරු විය.

කෙසේ නමුත් ඊයේ (11) යළිත් වරක් වෛද්‍යවරුන් මැදිහත් වී, ජනාධිපතිවරය පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ. ඔහු ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ එම අවස්ථාවේදීය.

මාර්සෙලෝ රෙබෙල්ලෝ ජනපති ධුරයේ රැඳී සිටින්නේ 2016 වසරේ සිටය.

පෘතුගාලයෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 4,89,293 ක් බවත් මරණ 7,925 ක් බවත් සටහන් විය. පෘතුගාලය දකුණු යුරෝපා රටක් වන අතර ජනගහනය 10,295,909 ක් යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS