පුරපතිගේ මළසිරුර හමුවෙයි



දකුණු කොරියාවේ සෝල් අගනුවර නගරාධිපති පාක් වොන් සූන්ගේ මළසිරුරු සෝල් නුවරට උතුරු දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයකින් සොයා ගැණින. ඒ, ඔහු අතුරුදන් වුණැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසුවය.

නගරාධිපතිවරයා අතුරුදන් බව ඔහුගේ දියණිය පොලිසියට පැමිණිලි කළේ 8 වැනිදාය. පාක් වොන් සූන්ගේ ජංගම දුරකතනයෙන් අවසන් වරට සංඥා නිකුත් වී ඇත්තේ බුගග් කන්ද අසලිනි. 

ඒ අනුව, පොලිස් නිලධාරීන් 600 දෙනකු, පොලිස් නිල සුනඛයන් සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් සෝදිසි මෙහෙයුම ආරම්භ කළේ යැයි පැවැසෙයි. මළ සිරුර සොයා ගැනීමට හැකිවූයේ එවිටය. මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

පාක් වොන් සූන් සෝල් අගනුවර නගරාධිපති ධුරය හොබවන්නේ 2011 වසරේ සිටය. පසුගිය වසරේ පැවැති නගරාධිපතිවරණයේ දී තෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ද පාක් වොන් සූන් පත් කරගෙන තිබුණි.

පාක් වොන් සූන්, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ කැපී පෙනන ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. 2022 දී දකුණු කොරියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ඊට ජනපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් යැයි පාක් වොන් සූන් පවසා තිබුණි.

අතුරුදන් වීමට පෙර පාක් වොන් සූන් ට ලිංගික අපහරණ චෝදනාවක් එල්ල වී තිබුණු බව පොලිසිය පවසයි. චෝදනා එල්ල කර ඇත්තේ නගරාධිපතිවරයා යටතේ රාජකාරි කළ තරුණියකගෙනි. නගරාධිපති පාක් වොන් සූන්ගේ අතුරුදන්වීම සහ එම සිදුවීම අතරේ සම්බන්ධයක් ඇතිදැයි සෙවීමට ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් පවසා තිබේ.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS