පුටින්ගෙන් ඇමෙරිකාවට වෛද්‍ය ආධාර



 කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඇමෙරිකාවට වෛද්‍ය ආධාර තොගයක් යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුඛ ආවරණ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ රැගත් රුසියන් හමුදාවේ, ‘ඒන්. 124’ භාණ්ඩ ප්‍රවාහන විශේෂ ගුවන් යානය, අද (2) ඇමෙරිකාවට ළඟා වීමට නියමිත වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇත.

රුසියන් ජනාධිපති පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ ඉකුත් 31 වැනිදා දුරකතන කතාබහක් පැවැත්විණි. එදිරිවාදිකම් පසෙකළා ඇමෙරිකාවට සහාය දැක්වීමට තමන් පියවර ගන්නා බව රුසියන් ජනාධිපති පුටින්, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට පවසා තිබේ.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලක්ෂ දෙකකට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් මියයයනු ඇතැයි ඇමෙරිකන් වෛද්‍යවරු අනතුරු අඟවා තිබේ. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, ජාතිය අමතමින් පවසා ඇත්තේ ඉදිරි සති දෙක ඉතා තීරණාත්මක බවය.

අද (2) දිනය වනවිට ඇමෙරිකාවෙන් හමුවුණු ආසාදිතයන් සංඛ්‍යාව 2,16,722 කි. ඊයේ දිනය වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 5,137 කි.

චීනයෙන් පිට දරුණු ලෙස කොරෝනා වයිරදය ව්‍යාප්ත වන ඉතාලියට ද රුසියාව මේ අයුරින්, විශේෂ හමුදා ගුවන් යනා මගින් වෛද්‍ය ආධාර යවා ඇත. ඒ, ඉතාලිය ඉතා අසරණ වූ අවස්ථාවේ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ කළ ඉල්ලීමකට අනුවය.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS