පැය 24 ඇතුළත ආසාදිතයෝ 97,894 ක්



අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 97,894 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ලොව ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මෙය වේ.

ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මෙන්ම වයිරස ආසාදිත මරණ ගණන ද වැඩිවෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සති දෙකක කාලයේදී සෑම දිනකම 1,000 ඉක්මවා ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වී ඇතැයි ද රොයිටර්ස් පුවත් සේවය පෙන්වාදෙයි.

ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන ඊයේ (15) මිලියන පහ ඉක්මව වූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන වයිරස ආසාදිත රෝගීන් දස දහස් ගණනකට ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවේ රෝහල් රැසක් අර්බුද රැසකට මුහුණ පා ඇත.

මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්ත නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්ත බවට පත්ව ඇත. මේ ප්‍රාන්තවල ඔක්සිජන් අවශ්‍යතාව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි වෛද්‍යවරුන් සහ ප්‍රාන්ත ආණ්ඩුවේ නිලධාරීහු පෙන්වාදෙති.

රොයිටර්


RECOMMEND POSTS