පාප්තුමා කැමැත්තෙන්



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ආරාධනාව පිළිගෙන ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් එරට සංචාරය කිරීමට කැමැත්තෙන් පසුවන බව දකුණු කොරියාව කියයි.

මේ බව කියා සිටියේ දකුණු කොරියාවේ පාලක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සභාපති ලී හේ චාන් ය.

”උතුරු කොරියා නායක කිම් ජොන් උන් කළ ආරාධනාව පිළිගැනීමට පාප්තුමන් කැමැත්ත පළ කර තිබෙනවා. උතුරු කොරියාවට යෑමට ද එතුමන්ගේ උනන්දුව යොමු වී තිබෙන බව වතිකානයෙන් වාර්තා වෙනවා” යැයි ලී හේ චාන් මාධ්‍ය හමුවේ පවසා ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වතිකානය කිසිදු නිල ප‍්‍රකාශයක් නිකුත් කර නැත.

උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන්නැයි ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇරැුයුම් කළේ පසුගිය සතියේය. එම ඇරැුයුම නිල වශයෙන් පාප්තුමන්ට බාර දීම සිදු කරනු සිදු කිරීමට නියමිතව ඇත්තේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ය.

දකුණු කොරියා ජනාධිපතිවරයා යුරෝපයේ සංචාරයක නියැලෙමින් සිටින අතර, ඔහු රෝමයේ වතිකානයට ගොස් පාප්තුමන් හමුවී උතුරු කොරියා නායකයාගේ ඇරැයුම පාප්තුමන්ට පිරිනැමීමට නියමිතය.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, යුරෝපා රටවල සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව, ඔහු වතිකානයට ගොස් පාප්තුමන් හමුවන පළමු අවස්ථාව ද මෙය වෙයි.

උතුරු කොරියාව සහ වතිකානය අතර කිසිදු රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවක් නැති අතර, පාප්තුමකු මීට පෙර කිසිදු අවස්ථාවක උතුරු කොරියාවේ සංචාරයක යෙදී නැත. ඒ නිසා පාප්තුමන්ගේ මෙම උතුරු කොරියා සංචාරය ඓතිහාසික එකක් වනු ඇතැයි ද පැවැසෙයි. ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පසුගිය 2014 වසරේ දී දකුණු කොරියාවේ සංචාරය කළේය. ඒ වනවිට දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර එදිරිවාදිකම් පැවැතිණි.

කලක් සිය මිසයිල අත්හදා බැලීම්වලින් ලොවට තර්ජනයක් වුණු උතුරු කොරියාව අද සාම මාවතට පිවිස සිටී. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමය වෙනුවෙන් කැප වී, න්‍යෂ්ටික අවිහරණය ආරම්භ කර ඇත. අද වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරත් උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතරත් යහපත් සබඳතා පවතී.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවංක චේතනායෙන් සාමයට කැපවී සිටින බවට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ලෝකයාට සහතිකයක් ලබා දී ඇත. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමය වෙනුවෙන් කැපවී සිටින බව අගය කළ යුතු යැයි පාප්තුමන් අදහස් දක්වා ඇති බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS