පාකිස්තානයට වතුර කපන්න ඉන්දියාව සැරැසෙයි



පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙස, ඉන්දු කාශ්මීරය හරහා පාකිස්තානයට ගලා බසින ගංගා හරස් කරමින්, පාකිස්තානයට ලැබෙන ජලය සීමා කිරීමට ඉන්දීය රජය සූදානම් වෙයි.

ඉන්දීය ප්‍රවාහන සහ ජල සම්පත් පිළිබඳ ඇමැති නිටින් ගඞ්කාරී ට්විටර් පණිවුඩයක් හරහා කියා සිටියේ, ඉන්දු කාශ්මීරය හරහා පාකිස්තානයට ගලන ගංගා හරස් කරමින්, පාකිස්තානුවන්ට ලබා නොදීමේ තීරණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ද අනුමැතිය හිමි වී ඇති බවය.

කාශ්මීරය දෙකඩ වී ඇත. ඒ, ඉන්දීය පාලනයට නතු කාශ්මීරය සහ පාකිස්තාන පාලනයට නතු කාශ්මීරය ලෙසය. ඉන්දුස් ගංගාව සහ ඊට අයත් අතු ගංගා ඉන්දු කාශ්මීරය හරහා පාකිස්තාන කාශ්මීරයට ගලා බසී. පාකිස්තාන වැසියන් ඔවුන්ගේ ජල අවශ්‍යතාවලින් සියයට 80 ක් සපුරා ගන්නේ ඉන්දියාව දෙසින් ගලා බසින මෙම ගංගාවල ආධාරයෙනි.

ඉන්දියාවට නිදහස ලැබීම සහ පාකිස්තානය නිර්මාණය වූ දා පටන් ඉන්දියාත් පාකිස්තානයත් අතර ජල අර්බුද පැවැතිණි. ඒ, ගංගා ජලයට දෙපාර්ශ්වය අයිතිවාසිකම් කීමට පෙළඹීමත් සමඟය. කෙසේ නමුත් ගංගා ජලය සම්බන්ධයෙන් 1960 වසරේ දී ඉන්දියාව සහ පාකිස්තානය අතර පොදු එකඟතාවක් ඇති කර ගැණින. ඒ, ලෝක බැංකුවේ මැදිහත්වීමෙනි.

පුල්වාමා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට විරෝධය දැක්වීමක් ලෙස, ඉන්දියාව සූදානම් වන්නේ 1960 වසරේ ඇති කරගත් එකඟතාවයෙන් ඉවත් වීමටය.

2016 වසරේ දී ඉන්දු කාශ්මීරයේ යූරි නගරයේ හමුදා කඳවුරට පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක් කඩා වැදී දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් පසු, ඊට විරෝධය පාමින් ඉන්දු කාශ්මීරයේ ගංගා හරස් කර වේල්ලක් ඉදිකිරීමට ඉන්දියාව සැලැසුම් සකස් කළේය. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවිය. ඒ, පසුගිය 2018 දෙසැම්බරයේදීය.

ඉන්දීය අගමැති මෝදි මේ වනවිට උපදෙස් දී ඇත්තේ එම සැලැසුම් වහා ක්‍රියාත්මක කරන ලෙස යැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. ඉන්දීය රජය ඉන්දුස් ගංගාව හරස් කිරීමට ඉන්දියාව කටයුතු කළහොත් පාකිස්තාන වැසියන් දැඩි ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS