පාකිස්තානය ඇඟිලි ගහනවා



ගුජරාඨ ප්‍රාන්ත මැතිවරණයට පාකිස්තානය ඇඟිලි ගසන බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චෝදනා කරයි.

අගමැති මෝදිගේ බලකොටුව ලෙස සැළකෙන්නේ ගුජරාඨ ප්‍රාන්තයයි. මෝදි 2001 වසරේ සිට 2014 තෙක් ගුජරාඨ මහ ඇමැති ලෙස කටයුතු කළේය.

ගුජරාඨ ප්‍රාන්ත මැතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. මැතිවරණය ආරම්භ වූයේ පසුගිය 9 වැනිදාය. එය ලබන 14 තෙක් පැවැත්වෙයි. මෙම මැතිවරණය විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කිරීමට මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය අපේක්ෂාවෙන් සිටී.

මැතිවරණයට පාකිස්තානය ඇඟිලි ගසනවා යැයි අගමැතිවරයා චෝදනා කරන්නේ පාකිස්තාන බලධාරීන් කිහිප දෙනකු සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අතර හමුවක් පිළිබඳ අනාවරණය වීමත් සමඟය.

කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහ පාකිස්තාන බලධාරීන් මුණගස්වා ඇත්තේ කොංග්‍රස් පක්ෂයේ මානී ෂන්කර් අයියාර්ගේ මැදිහත්වීමෙන් යැයි ද පැවැසෙයි.

කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් ගුජරාඨ මහ ඇමැති ධුරයට තරග කරන්නේ අහ්මද් පටෙල් වන අතර, ඔහුට පාකිස්තාන හිටපු හමුදාපතිගේ සහාය හිමිවන බවට තමන්ට වාර්තා වී ඇතැයි අගමැති මෝදි පවසා ඇත. මේ අතර, අගමැති මෝදි විසින් එල්ල කරනු ලබන චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව කොංග්‍රස් පක්ෂය කියා සිටී.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS