පාකිස්තාන සංචාරය ගැන විලියම්-කේට් සතුටින්



පාකිස්තානය මෙතරම් සොඳුරු තැනක්දැයි තමන් මීට පෙර දැන නොසිටි බවත්, පාකිස්තාන වැසියන්ගේ ආගන්තුක සත්කාර ගැන තමන් පුදුමයට පත්වන බවත්, සිය පළමු පාකිස්තාන සංචාරයට එක් වුණු බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේම්බි‍්‍රජ් ආදිපාදවරිය ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් පැවැසූහ.

විලියම් කේට් පස් දිනක් පාකිස්තානයේ රැඳී සිටියහ. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු පාකිස්තාන රජයෙන් ඔවුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

විලියම් කේට් යුවලගේ පුතුන් දෙදෙනා සහ දියණිය මෙම සංචාරයට පැමිණ සිටියේ නැත.

විලියම් කේට් යුවල පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටක් ද වන පාකිස්තානයට පැමිණියේ මහා බි‍්‍රතාන්‍යය සහ පාකිස්තානය අතර යහපත් සබඳතා වර්ධනය කර ගැනීමටය. විලියම් සහ කේට් යුවලගේ ආරක්ෂාවට හමුදාවේ පොලිසියේත් 1,000 ක බලඇණියක් යෙදවිණි.

සංචාරයේ අවසන් අදියරේ ලාහෝර් නුවර බි‍්‍රතාන්‍ය රජයේ ආධාර මත පිහිටවූ පාසල් කීපයක සංචාරය කිරීමටත්, පොඩිත්තන් සමඟ කි‍්‍රකට් කී‍්‍රඩා කරමින් විලියම් කේට් යුවල විනෝද වූහ. පාකිස්තාන සංචාරය අවසන් කිරීමට යුවල යළි ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියහ.

ඉස්ලාමාබාද් අගනුවර හමුදා සුනඛ පුහුණු ඒකකයට ගොස් හමුදාවේත් පොලිසියේත් නිල සුනඛයන් සුරතල් කිරීමටත් රාජකීය යුවල අමතක නොකළහ.

ඉස්ලාමාබාද්හිදීය (ඬේලිමේල්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS