පාකිස්තාන අගමැති ධුරයට සුදුසු නෑ



දූෂණ චෝදනාවලට වරදකරු වීමත් සමඟ, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් අගමැති ධුරයට නුදුසුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගමැති නවාස් ෂරීෆ් ඇතුළු පවුලේ සාමාජිකයන් වත්කම් සඟවමින්, විදේශවල ආයෝජන සිදු කළ බවට චෝදනා එල්ල වී තිබුණි. අධිකරණය හමුවේ අගමැති ෂරීෆ් වරදකරු වූයේ එම චෝදනා සම්බන්ධයෙනි.

බදු ගෙවීම් පැහැර හරිමින්, අගමැතිවරයාගේත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේත් විදෙස් සමාගම්වල මුදල් යෙදවූයේ යැයි චෝදනා එල්ල වූයේ 2015 වසරේ ‘පැනමා පත්‍රිකා හෙළිදරව්ව’ හරහාය.

එල්ලවුණු එම චෝදනා සම්බන්ධයෙන් අගමැති ෂරීෆ් වරදකරු යැයි තීන්දු කළේ පස් දෙනකුගෙන් සමන්විත වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලකි. “ෂරීෆ් මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නුසුදුසු බව අප තීරණය කරනවා. ඒ අනුව, අගමැති ධුරයට ද ඔහු සුදුසු නැහැ.” යැයි විනිසුරු ඉජාස් අෆ්සාල් ඛාන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

අගමැතිවරයා සම්බන්ධ නඩු විභාගය හේතුවෙන් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණි. අගමැති ෂරීෆ් අධිකරණයට පැමිණියේ ද විශේෂ ආරක්ෂාවක් යටතේය.

අගමැති නවාස් ෂරීෆ් සම්බන්ධයෙන් එල්ලවුණු චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නැයි පාකිස්තාන දූෂණ විමර්ශන ඒකකයට දැනුම් දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS