පරාජය පිළිගන්න සූදානම්



තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ සමූහ (ඡන්ද ගණ) ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කළ හොත් තමා පරාජය පිළිගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ඉකුත් 3 වැනිදා (නොවැම්බර් 3 වැනිදා) පැවැත්විණි. එහිදි ඡන්ද ගණ (ඉලෙක්ටෝරල් කොලේජස්) 306ක බලය තහවුරු කරගනිමින් ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්විය. සිය අවසන් හා දෙවැනි ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිනාගැනීමට හැකි වූයේ ඡන්ද ගණ 232ක් පමණි. මනාප ඡන්දවලින් මිලියන හයක් ඉදිරියෙන් සිටීමට ජෝ බයිඩන් සමත් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ඡන්ද ගණ හෙවත් මැතිවරණ සමූහ ගණන 538කි. ඉන් 270ක බලය තහවුරු කරගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජය ලබයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහාකයා තීරණය වන්නේ ඔහු ලබාගන්නා සමස්ත ඡන්ද ගණනෙන් නොව ඔහු දිනාගැනීමට සමත් වන ඡන්ද ගණ සංඛ්‍යාවෙනි.

ඇමෙරිකාවේ ජනපද පනහක් වන අතර ජනපදවල හිමි ඡන්ද ගණ (මැතිවරණ සමූහ) ගණනක් තිබේ. ජනාධිපතිවරණයේදී තෝරා ගැනෙන්නේ මෙම ඡන්ද ගණ සඳහා නියෝජිතයන් ය. එම නියෝජිතයෝ දෙසැම්බර් මාසයේදී ඡන්දය ප්‍රකාශ කරති. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනෙන්නේ එම නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

කෙසේ නමුත් ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි ජනාධිපතිවරණයේදී තීරණය කර ගත හැකි අතර කෙසේ නමුත් අවසන් මොහොතේදී වෙනස්වීම් සිදුවිය හැකි ය. අවසන් වරට ජනාධිපතිවරණය පැවැති 2016 වසරේ දී එවැනි තත්ත්වයක් උද්ගත විය.

කෙසේ නමුත් නූතන ඇමෙරිකාවේ දෙසැම්බරයේ ඡන්ද ගණ නියෝජිතයන්ගේ ඡන්දය ප්‍රකාශ කිමෙ හුදෙක් උත්සවයක් සහා චාරිත්‍රයක් බවට පත්ව තිබේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද ගණ සහ ඊට නියෝජිතයන් පත් කරගැනීම සිදුවීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

ඡන්ද ගණවලට හිමිකම් කියන නියෝජිතයන් දෙසැම්බර් 14 වැනිදා මුණගැසීමට නියමිත ය.

මැතිවරණ සමූහ (ඡන්ද ගණ) ඡන්ද විමසීමේදී ජෝ බයිඩන් ජයග්‍රහණය කළහොත් පරාජය පිළිගන්නා බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය එක්තරා ආකාරයකින් ඔහු පරාජය පිළිගැනීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ පරාජය බාරගැනීමේ සහ නව ජනාධිපතිවරයාට සාමකාමී ලෙස බලය පැවරීමේ සම්ප්‍රදාය කඩ කර ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂය සාමාජිකයෝ සහ තවත් බොහෝ පිරිසක් චෝදනා කරති. ඒ අතර රිපබ්ලිකන් පක්ෂයේ අය ද වෙති.

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ලබන වසරේ ජනවාරි 20 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.

ඇමෙරිකාවේ ස්තූතිවන්ත වීමේ දින නිවාඩුවට සමගාමීව මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස අදහස් දැක්වීය. මැතිවරණ සමූහවලදී (ඡන්ද ගණ) ජෝ බයිඩන් ජනාධිපතිවරණයේ ජයග්‍රහාකයා යැයි තහවුරු වුවහොත් තමන් ධවල මන්දිරයෙන් නික්ම යන බව ට්‍රම්ප් එහිදි කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්තූතිවන්ත වීමේ දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශ ඇමතීම එරට සම්ප්‍රදාය යි. එලෙස ආරක්ෂක අංශවල සාමාජිකයන් ඇමතීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් එලෙස මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය.

ජනාධිපති ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පසු ධවල මන්දිරයට පැමිණ මාධ්‍යවේදීන්ට තමාගෙන් ප්‍රශ්න විමසීමටත් ඒවාටත් පිළිතුරු දුන් පළමු අවස්ථාවත් මෙය විය.

ඒ.එෆ්.පී./රොයිටර්


RECOMMEND POSTS