නේපාල අගමැති නෙරපීමේ කුමන්ත්‍රණයක්



නේපාල දේශපාලනඥයන් සහ අසල්වැසි ඉන්දියාව එක් වී තමා ධුරයෙන් නෙරපා දැමීමට කුමන්ත්‍රණය කරනවා යැයි නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි කළ චෝදනා කරයි.

අග්‍රාමාත්‍ය ෂර්මා ඕලි කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන්, නේපාලයේ පාලක ‘කොමියුනිස්ට්’ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, බාලුවටාර් හි අගමැති නිල නිවසේ හමුවී, දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.

සාකච්ඡාවට සහභාගී වූ හිටපු නේපාල අගමැතිවරයකු මෙන්ම ‘කොමියුනිස්ට්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ද වන පුෂ්ප කමල් දාල් හෙවත් ‘ප්‍රචණ්ඩා’ අගමැති ෂර්මා ඕලි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළේය.

තමා ධුරයෙන් නෙරපා දැමීමට ඉන්දියාව සිය තානාපති කාර්යාල හරහා උත්සාහ ගන්නා බවටත්, නේපාල දේශපාලනඥයන්ගේ සහාය ඊට හිමිවන බවටත් නේපාල අගමැති ෂර්මා ඕලි චෝදාන නැගුවේ පසුගිය සති අන්තයේය.

අගමැති ෂර්ලිගේ මෙම ප්‍රකාශය මුල්කොට ගනිමින් දේශපාලන පක්ෂ අතරේ පවතින විශ්වාසය පමණක් නොව, ඉන්දියාව සමඟ පවතින විශ්වාසය ද පළුදු වූ බව ‘කොමියුනිස්ට්’ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අග්‍රාමාත්‍ය ෂර්මා ඕලි ට පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.

අගමැතිවරයා කළ ප්‍රකාශය ඉතා දරුණු බවත්, කරන චෝදනා ඔප්පු කිරීමට අගමැතිවරයා කටයුතු කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම්, ඔහු වහා අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවත් පාලක කොමියුනිස්ට් පක්ෂය අගමැති ෂර්මා ඕලි ට පවසා ඇත.

අගමැති ෂර්මා මුල්කොට ගනිමින් නේපාලයේ දේශපාලන අර්බුදයක් හටගත්තේත්, ඉන්දියාව සහ නේපාලය අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගත්තේත්, ඉන්දු නේපාල දේශසීමා පිළිබඳ තැකීමක් නොකර නේපාලය සිතියම්ගත කිරීමට අගමැති ෂර්මා ඕලි පියවර ගැනීමත් සමඟය.

කත්මණ්ඩු නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS