නෙදර්ලන්ත ට්‍රෑම් ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු දිගටම



නෙදර්ලන්තයේ ටේ‍රච්ට් නුවර ට්‍රෑම් රථයක් තුළ සිදුවුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම පැවැත්වෙන බව නෙදර්ලන්ත ආරක්ෂක අංශ පවසයි.

වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු නෙදර්ලන්තවේ ප්‍රධාන නගර සියල්ලේම ආරක්ෂාව තර කෙරුණු අතර, පාසල් ද වසා දැමුණි.   වෙඩි තැබීම කළේ 37 හැවිරිදි තුර්කි ජාතිකයකු බවත් ඔහු මේ වනවිට අත්අඩංගුවේ පසුවන බවත් පැවැසෙයි. වෙඩි තැබීම කළ තැනැත්තා ගොක්මන් ටානීස් නමැත්තාය.

වෙඩි තැබීම සිදුවෙද්දී, එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි බියක් හට ගත්තේය. කෙසේ නමුත් වෙඩි තැබීම කළ ගොක්මන් ටානීස් නමැත්තා මානසික ආතතියෙන් පෙළුණු අයකු විය හැකි බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් තිබේ.

ප්‍රහාරය එල්ල වෙද්දී බොහෝ දෙනාගේ අනුමානය වූයේ, නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් වැසියන් ඉලක්ක කර ගනිමින් සුදු ජාතික අන්තවාදියා කළ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය දැක්වීමක් ලෙස නෙදර්ලන්ත වැසියන් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් අන්තවාදියකු මෙම වෙඩි තැබීම කරන්න ඇතැයි කියාය.

ගොක්මන් ටානීස් කළ වෙඩි තැබීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 5 කි. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි. වෙඩි තැබීම සිදුවුණැයි වාර්තා වන්නේ නෙදර්ලන්ත වේලාවෙන් උදෑසන 10.45 ට පමණය.

පොලිසිය වහා ක්‍රියාත්මක වී වෙඩි තැබීම සිදුවුණු ස්ථානයට පැමිණෙද්දී, ගොක්මන් ටානීස් එතැනින් පලා ගොස් කිලෝ මීටර් 3 ක් දුරින් පිහිටි ගොඩනැගිල්ලක සැඟවී සිට ඇත. පොලිස් නිලධාරීන්ට ඔහු සොයා අල්ලා ගැනීමට හැකිවූයේ ඉන්පසුවය.

වෙඩි තැබීම සැලවීමත් සමඟ නෙදර්ලන්ත අගමැති මාක් රූත් ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත්වුණැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ටේ‍රච්ට් නුවරදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS