නිදහස දා මෝදි ජාතිය අමතයි



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වුණු නිදහස් දින සැමරුමට එක් වෙමින් ඉන්දීය අගමැති මෝදි ජාතිය අමතමින් කියා සිටියේ, ඉන්දියාව එක ව්‍යවස්ථාවක් යටතේ එක රටක් ලෙස එකමුතුව ඉදිරියට යා යුතු බවය.

අගමැති මෝදි දෙවනි වරටත් අගමැති ධුරයට පත්වීමෙන් පසු, ඔහු සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ රජයේ පළමු නිදහස සැමරුම මෙය වන අතර, අගමැති මෝදි සහභාගී වූ සය වැනි නිදහස් සැමරුම ද මෙයයි.

ඉන්දීය ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් තමන් ආඩම්බර බවත්, ඉදිරියේ දී ඉන්දීය ත්‍රිවිධ හමුදාව සඳහා ආරක්ෂක ප්‍රධානි තනතුරක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් නිදහස් දින සැමරුමේදී ජාතිය අමතමින් අගමැති මෝදි අනාවරණය කළේය.

ත්‍රිවිධ හමුදා අතරේ සම්බන්ධීකරණය එම ප්‍රධානියා හරහා සිදුවනු ඇති බවත් අගමැති මෝදි නිදහස් දිනය වෙනුවෙන් ජාතිය අමතමින් පැහැදිලි කළේය. ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී තනතුරක් ඇති කිරීම සම්බන්ධයෙන් 1999 වසරේ සිට යෝජනාවක් ඉදිරිපත් වී පැවැතිණි.

මුස්ලිම් කාන්තාවන්ට ක්ෂණික දික්කසාදය හිමිවන තලාක් නීතිය අහෝසි කිරීමටත්, ඉන්දියාව යටතේ පාලනය වන කාශ්මීරයට ලබා දුන් විශේෂිත බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පියවර ගැනීම සම්බන්ධයෙන් අගමැති මෝදි අදහස් දක්වමින් කියා සිටියේය.

ඉන්දීය ජනාධිපතිවරයාගේ අණින්, එරට ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කෙරුණු අතර, එමගින් ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල සහ ස්වයං පාලන බලතල ඉවත් කෙරුණි. ඒ අනුව කාශ්මීරයේ මුස්ලිම්වරුන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර එය තවමත් පහව ගොස් නැත. ඉන්දු කාශ්මීරයට තවදුරටත් ඇඳිරි නීතිය පනවා ඇති අතර, කාශ්මීර වැසියන්ට තවමත් දුරකතන පහසුකම් හෝ අන්තර්ජාල පහසුකම් හෝ ලබා දී නැත.

ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය බල රහිත කිරීම සහ ඉන්දු කාශ්මීරයට අයත් ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් ඉන්දීය රජයේ පාලනය යටතට ගැනීම කාශ්මීර වැසියන්ගේ හිතසුව පිණිස ගත් තීරණයක් බවත්, ඉන්දු කාශ්මීර වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමට තමන් සහ තමාගේ රජය කැපවී කටයුතු කරන බවත් අගමැති නරේන්ද්‍ර මෝදි සිය දේශනයේ දී පැහැදිලි කළේය. අතීතයේ පැවැති ශ්‍රේෂ්ඨත්වය යළි කාශ්මීරයට ලබා දීමට තමත් කැපවී කටයුතු කරන බව අගමැති නරේන්ද්‍ර මෝදි පැහැදිලි කළේය.

නවදිල්ලියේ නිදහස් දින සැමරුම් උළෙලට මෝදි පැමිණෙද්දී, රැස්ව සිටි පිරිස ඔල්වරසන් දෙන්න වූහ. සැමරුම් උත්සවයේ සංදර්ශනවලට සහභාගීවීමට පැමිණ සිටි පාසල් දරු දැරියන් පිරිසක් මෝදි වටකරගෙන ඔහුට සුබ පැතුවේ යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. රතු බලකොටුවේ පැවැත්වුණු නිදහස් දින සැමරුමට ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, රජයේ ඇමැතිවරුන්, විපක්ෂ ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් පමණක් නොව හිටපු අගමැති මන්මෝහන් සිං ද සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය පෙබරවාරියේ, පාකිස්තාන හමුදාව විසින් අල්ලා ගෙන පසුව නිදහස හිමිවුණු ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්තමාන්ට අද නිදහස් දිනයට සමගාමීව ‘වීර් වක්‍ර’ වීර පදක්කම පිරිනැමීමට නියමිතය. අභිනන්දන් වර්තමාන් පියාසර කළ ඉන්දීය ගුවන් හමුදාවේ මිග් ප්‍රහාරක ජෙට් යානය පහර දී බිම දැමීම සිදු කළේ පාකිස්තාන ගුවන් හමුදාවට අයත් එෆ් 16 ප්‍රනාරක යානයකි.

ඒ, අභිනන්දන්ගේ යානය පාකිස්තාන ගුවන් සීමාව ආසන්නයට පැමිණි අවස්ථාවේදීය. එම සිදුවීම මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතර යුද උණුසුමක් නිර්මාණය විය. කෙසේ නමුත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඉන්දියාවට හොඳහිත පෙන්වීමක් ලෙස අභිනන්දන් වර්තමාන් යළි ඉන්දියාවට බාර දුන්නේය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS