ධුර කාලය සම්පූර්ණ කරන්න දෙන්න



තම පස් අවුරුදු ධුර කාලය සම්පූර්ණ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ඊට ඉඩ දෙන ලෙසත් නේපාල අගමැති ෂර්මා ඕලී සිය රජයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන්ගෙන් පාර්ලිමේන්තුව අමතමින් ඉල්ලීමක් කළේය.

තමා බලයෙන් නෙරපා දැමීමට හෝ රජය පෙරළැ දැමීමට හෝ කුමන්ත්‍රණය කිරීමෙන් වළකින්නැයි ද අගමැති ෂර්මා ඕලී ඉල්ලා සිටී. නේපාල අගමැතිවරයා මෙසේ කියා සිටියේ, අගමැති ධුරයට පත් වී වසර දෙකහමාරක් ගත වෙද්දීය. නේපාල අගමැතිවරයාගේ ධුර කාලය වසර පහකි.

ෂර්මා ඕලී නේපාල අගමැති ධුරයට පත් වූයේ 2018 පෙබරවාරියේය. ඕලී අගමැති ධුරයට පත් දෙවැනි අවස්ථාව මෙය විය. ෂර්මා ඕලී නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂය, හිටපු මාඕවාදී ගරිල්ලා නායකයකු ද වන පුෂ්ප කමල් දාල් හෙවත් ‘ප්‍රචණ්ඩා’ගේ  නේපාල කොමියුනිස්ට් පක්ෂය සමඟ එක් වී වර්තමාන සන්ධාන රජය පිහිටුවීය. ඒ, පාර්ලිමේන්තු සහ පළාත්සභා මැතිවරණ විශිෂ්ට අයුරින් ජය ගනිමිනි.

නව රජයක් පිහිටුවා ගැනීමට සන්ධානගත වූයේ ෂර්මා ඕලී සහ පුෂ්ප කමල් දාල් අතරේ ඇතිවුණු බලය බෙදා ගැනීමේ එකඟතාවක් මතය. පස් අවුරුදු ධුර කාලයෙන් හරි අඩක් ගතවෙද්දී ෂර්මා ඕලී, ඉතිරි වසර දෙකහමාරක ධුර කාලය සඳහා පුෂ්ප කමල් දාල්ට බලය පැවැරීම කළ යුතුව ඇතැයි එම එකඟතාවයේ දැක්වෙයි.

කත්මණ්ඩුහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS