දෝහා නුවර මධ්‍යම වෙළෙඳ පොළේ එළවළු සහ පළතුරු මිල ගණන් පහළට



 

මධ්‍යම වෙළෙඳපොලේ එළවළු සහ පළතුරු මිල ගණන් පසුගිය මාසයේදී සැළකිය යුතු ලෙසින් පහළ බැස තිබේ. ඒ අනුව 2015 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2016 වසරේ දෙසැම්බර් මාසයේදී දෝහා මධ්‍යම වෙළෙඳපොළේ එළවළු මිල සියයට 15 කින් පහළ බැස තිබේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී එළවළු මිල පහළ බැස ඇත්තේ සියයට 4 කිනි. එළවළු, පළතුරු, මාලු, මස් සහ සත්ව ආහාරවල මාසික මිළ ගණන් සම්බන්ධයෙන් ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවෙන් ඉහත තොරතුරු අනාවරණය විය.

එම වාර්තාවට අනුව 2015 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2016 වසරේ දෙසැම්බර් මාසයේදී පළතුරු මිල ගණන් සියයට 11 කින් පහළ බැස තිබේ. එසේම පසුගිය වසරේ නොවැම්බර් මාසය සමග සසඳන විට දෙසැම්බර් මාසයේදී පළතුරු මිල ගණන් පහළ ගොස් ඇත්තේ සියයට 9 කිනි. එසේම මාලු මිල ගණන් 2015 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2016 වසරේ දෙසැම්බර් මාසයේදී සියයට 9 කින් පහළ බැස ඇත.

එසේම 2016 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී මාලු මිල සියයට 8 කින් පහළ බැස ඇත. 

මධ්‍යම වෙළෙඳපොලේ මස් මිල ගණන් පසුගිය මාසයේදී ස්ථාවර වී ඇති බවක් පෙනී යයි. වෙළෙඳපොළේ ජීවී සතුන් මිල ගණන් දැරිය යුතු මට්ටමක පැවැති අතර මාසික වාර්තාවට අනුව ඕමාන එළුවෙකුගේ මිල කටාර් රියාල් 450 (අවම මිල) සහ සිරියානු බැටළුවෙකු කටාර් රියාල් 300 ක් විය. අවම මිලක් වාර්තා වූ ඕස්ටේ්‍රලියානු එළුවෙකුගේ මිල කටාර් රියාල් 350 ක් විය.


RECOMMEND POSTS