දෙවැනි් මාත්‍රාව ප්‍රමාද වුණාට ගැටලුවක් නෑ



ඉන්දියාවේ 'සේරම්' ආයතනය 'කොවිෂීල්ඩ්' යන වෙළෙඳ නාමය යටතේ නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසු දෙවැනි මාත්‍රාව ලබා ගැනීම කළ යුතු වන්නේ සති 12 ක් හෝ 16 ක් ඇතුළත යැයි බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් උපුටා දක්වමින් ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි.

බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තා පරීක්ෂා කළ බවත්, ඔවුන් පෙන්වා දෙන කරුණු අනුව දෙවැනි එන්නත් මාත්‍රාව සති 12 ත් 16 ත් අතර කාලයේ ලබා ගැනීමෙන් වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය නිර්මාණයවීමේ හැකියාව ඉතා වැඩි බවත් ඉන්දීය ඖෂධ පාලන අධිකාරිය ද පැහැදිලි කර තිබේ.

ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සේරම් ආයතනයට ඉල්ලුමට සරිලන අන්දමින් 'කොවිෂීල්ඩ්' එන්නත් නිපදවීම ගැටලුවක් වී ඇත. ඒ, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන දිනපතා ලක්ෂ 3 ත් 4 ත් පසු කරද්දීය.

මේ වනවිට දිනකට මරණ 4,000 කට වඩා ඉන්දියාවෙන් වාර්තා වේ. ඉන්දියාව 'කොවිෂීල්ඩ්' එන්නත් අපනයනය ද නවත්වා දමා එන්නත් ඉන්දියානුවන්ට පමණක් ලබා දීම සිදු කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS