දිල්ලියේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක්



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය මධ්‍යම රජයේ නව පුරවැසි පනතට එරෙහිව දිල්ලියේ මුස්ලිම් වැසියන් විරෝධතා පවත්වද්දී, අගමැති මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට පක්ෂපාතී පිරිස් නවදිල්ලි අගනුවර මුස්ලිම් පල්ලියකට කඩා වැදී පහර දී ඊට ගිනි තැබූහ.

කලහකාරී පිරිස් පහර දී ගිනිබත් කළේ නවදිල්ලියේ අශෝක් නගර් හි පිහිටි මුස්ලිම් පල්ලියටය. පල්ලියට කඩා වැදුණු පිරිස් ‘රාම් දෙවිදුන්ට ජය වේවා’ කියමින් පල්ලියට පහර දුන්නේ යැයි පැවැසෙයි.

නවදිල්ලි අගනුවර මුස්ලිම් වැසියන්ගේ නිවාස සහ කඩසාප්පුවලට ද කලහකාරී පිරිස් පහර දී ඇත. මුස්ලිම් වැසියන්ට එරෙහිව හින්දු ජාතිකවාදීන් එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය මුනිවත රකින බවට දිල්ලි වැසියෝ චෝදනා කරති.

හින්දු මුස්ලිම් ගැටුම්වලින් තුවාල ලැබූ මුස්ලිම් වැසියන් බොහෝ දෙනකු නවදිල්ලි රෝහල්වලට ඇතුළු කළ බව වාර්තා වේ. ඇතැම් වැසියන් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා තිබේ. ඉන්දීය පුරවැසි පනත මුල්කොට ගනිමින් සිදුවුණු ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. නවදිල්ලියේ මුස්ලිම් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව යෙදවීමට දිල්ලි ප්‍රාන්ත රජය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

නව පුරවැසි පනතට අනුව, ඇෆ්ගනිස්තාන, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවලින් සංක්‍රමණිකයන් ලෙස ඉන්දියාවට පැමිණ සිටින කිසිවකුට ඉන්දියාවේ පුරවැසිභාවය හිමි නොවෙයි. අනවසර සංක්‍රමණිකයන් ලෙස එම වැසියන්යට ආපසු ඔවුන්ගේ රටවල් බලා යෑමට සිදුවෙයි. ඉන්දියාවට සංක්‍රමණිකයන් ලෙස පැමිණ සිටින මුස්ලිම් නොවන වැසියන්ට පුරවැසිභාවය ලබා දීමට ඉන්දීය රජය කටයුතු කර තිබේ.

ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව මීට විරෝධය දක්වන අතර, හින්දු ජාතිකවාදීන් මෙම පනතට සහාය පළ කරයි. දෙපාර්ශ්වය අතර ගැටුම් ඇවිළීම ඇරැඹුණේ ඒ අනුවය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS