ද්විත්ව කොරෝනා රටවල් රැසකට යයි



ඉන්දියාවෙන් මේ වනවිට දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 2 ඉක්මවා වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මෙසේ හිටිහැටියේ වැඩිවීමට ප්‍රධානතම හේතුව ඉන්දීය වැසියන් වයිරසය තැකීමකට නොගෙන කටයුතු කිරීමය.

සෞඛ්‍ය උපදෙස් නොතකා ගංගා නදිය අසබඩ පැවැති කුම්බමේලා උත්සවයට එක් රොක්වුණු දහස් ගණනක් මේ වනවිට ආසාදිතයන් බවට පත් වී අවසන්ය. ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක මැතිවරණ පැවැත්වෙන අතර, සෞඛ්‍ය උපදෙස් නොතකා මැතිවරණ රැලිවලට එක්රොක් වන පිරිස ද අතිමහත්ය. ඉන්දියාව එරට වැසියන්ට එන්නත් ලබා දීම අදියර කීපයක් යටතේ ආරම්භ කර ඇති නමුත් ආසාදිතයන්ගේ අඩුවක් දකින්න ලැබෙන්නේ ද නැත. ඉන්දියාවේ කොරෝනා වයිරස ව්‍යාප්තිය හිටිහැටියේ ඉහළ යෑමට තවත් එක් හේතුවක් වී ඇත්තේ එරටින් හමුවුණු ද්විත්ව විකෘතියයි.

ඉන්දියාවෙන් මුලින්ම හඳුනාගත් මෙම ද්විත්ව කොරෝනා විකෘතිය මේ වනවිට රටවල් 10 කට පැතිර ගොස් ඇති බවත්, එන්නත්වලට පවා අඩපණ කිරීමට නොහැකි යැයි පැවැසෙන එම විකෘතිය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර තිබේ.

විද්‍යාඥයන් මෙම ද්විත්ව කොරෝනා විකෘතිය නම් කර ඇත්තේ බී.1.617 යන නමිනි. ‘ඊ484කියු’ සහ ‘එල්452ආර්’ යන විකෘති කොරෝනා වයිරස ප්‍රභේද ඊට ඇතුළත් වෙයි. මේ වනවිට කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද මහා බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන්, මෙක්සිකෝවෙන් සහ බ්‍රසීලයෙන් ද වාර්තා වන නමුත් ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණි.

ඊයේ 19 වැනිදා වනවිට මෙම ද්විත්ව විකෘති ප්‍රභේදය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍යය, බෙල්ජියම, ජර්මනිය, අයර්ලන්තය සහ ඇමෙරිකාව ට පැතිර ගොස් තිබුණි. ද්විත්ව විකෘතියේ සම්ප්‍රේෂණ වේගය සාමාන්‍ය කොරෝනා වයිරසයටත්, මෙතෙක් හමුවී ඇති සෙසු විකෘති වයිරස ප්‍රභේදවලටත් වඩා වැඩි යැයි ඉන්දීය වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 16 කට මෙම ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර අයත් මහාරාෂ්ට ප්‍රාන්තය කොරෝනා වයිරසයෙන් දැඩි ලෙස බැට කයි. ඊට අමතරව, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ ද කොරෝනා වයිරසය ඔඩුදුවා තිබේ. නවදිල්ලි ප්‍රාන්තය ඇත්තේ, මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ගේ 'ආම් ආද්මී' පක්ෂය යටතේය. ප්‍රාන්ත රජය මැදිහත් වී ඊයේ 19 වැනිදා සිට සතියක කාලයක් නවදිල්ලි අගනුවර ලොක්ඩවුන් කළේය. ඒ, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින්ය. අගනුවර ලොක්ඩවුන් කරන බව නිවේදනය කිරීමත් සමඟ මත්පැන් මිලදී ගැනීමට දිගු පෝලිම් දකින්න ලැබුණි.

නවදිල්ලි රෝහල් සියල්ල මේ වනවිට ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර, රෝහල් ඇඳන්වල රෝගීන් දෙදෙනා තුන්දෙනා ප්‍රතිකාර ලබන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නවදිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ සෙසු ප්‍රධාන නගර රැසක රෝහල්වල ඔක්සිජන් හිඟයක් ද වාර්තා වෙයි. ඔක්සිජන් නොමැතිකම නිසා ද ආසාදිතයන් මියයන බව ද වාර්තා වේ.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ආචාර්ය මන්මෝහන් සිං කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ ඊයේ 19 දිනයේ ය. 88 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ ඇත්තේ ඔහුට උණ ගැනී තිබුණු බැවිනි. කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ආචාර්ය මන්මෝහන් සිං නවදිල්ලි රෝහලකට ඇතුළත් කෙරුණු බවත්, ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

කොරෝනා ආසාදිතයකු බව හදුනා ගැනෙද්දී, ආචාර්ය මන්මෝහන් සිං, කොරෝනා වයිරසයට එරෙහිව ඉන්දීය විද්‍යාඥයන් සියයට  සියයක් ඉන්දීය තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ 'කොවැක්සින්' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගෙන තිබුණි.  'කොවැක්සින්' යනු ඉන්දීය රජයට අයත් 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ එන්නතය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් ලබාගෙන ඇත්තේ ද මෙම 'කොවැක්සින්' එන්නතය.

ආචාර්ය මන්මෝහන් සිං ට 'කොවැක්සින්' එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ මාර්තු 4 වැනිදා බවත්, දෙවැනි මාත්‍රාව ලබා දී ඇත්තේ පසුගිය අප්‍රේල් 3 වැනිදා බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පැවැසීය. මේ අතර, ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සැමට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට ඉන්දීය මධ්‍යම රජය ඊයේ 19 වැනිදා තීරණය කළේය.

ඉන්දියාව ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ පසුගිය ජනවාරියේය. මෙම අප්‍රේල් පළමු වැනිදා සිට 45 ට වැඩි සැමට එන්නත් ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන පුළුල් කළේය. ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බැවින්, ලබන මැයි පළමු වැනිදා සිට ඉන්දියාවේ 18 වැඩි සැමට එන්නත් ලබා දීම ආරම්භ කරන බවත්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත් සියල්ල ඒ වෙනුවෙන් යෙදවීමටත් ඉන්දීය රජය තීරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS