ත්‍රීපුර ප්‍රාන්ත ඡන්දය ඇරැඹේ



ඉන්දියාවේ ත්‍රීපුර ප්‍රාන්තයේ ප්‍රාන්ත සභා මැතිවරණය ආරම්භ විය.

ත්‍රීපුර ප්‍රාන්තයේ වසර ගණනාවක සිට බලයේ රැඳී සිටින්නේ මාක්ස්වාදී වාමාංශික කොමිටුනිස්ට් පක්ෂයයි. 1998 වසරේ සිට ත්‍රීපුර ප්‍රාන්ත මහ ඇමැති ධුරය හොබවන්නේ මනික් සර්කාර්ය. මේ වනවිට ඔහු ධුර කාල පහක් සම්පූර්ණ කර ඇත.

මෙවර මැතිවරණයේ දී කොමියුනිස්ට් පක්ෂයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයෙන් අභියෝගයක් එල්ල වීමට නියමිතව ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෝදිගේ භාරතීය ජනතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ, ‘ත්‍රිපුර ස්වදේශ වැසියන්ගේ පෙරමුණ’ නමැති පක්ෂය සමඟ එක්වෙමිනි.

ඡන්ද කටයුතු උදෑසන 7 ට ආරම්භ විය. උදෑසනම ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඉන්දීය අගමැති මෝදි, ත්‍රීපුර වැසියන්ගෙන් ඉල්ලා තිබුණි. ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ උදෑසන සිට ඡන්ද පොළවල දිගු පෝලිම් දකින්න ලැබුණු බවය.

ත්‍රීපුර යනු ඉන්දියාවේ ඊසාන දෙසින් පිහිටා ඇති ප්‍රාන්තයකි. ප්‍රාන්ත අගනුවර වන්නේ අගර්ටාලාය. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක ගණන 8 කි. ප්‍රාන්තය මායිම් වී ඇත්තේ බංග්ලාදේශයටය. නිල භාෂා ලෙස සැළකෙන්නේ හින්දි නොව, බෙංගාලි සහ ඉංග්‍රීසිය. මුස්ලිම් සහ හින්දු වැසියෝ මෙම ප්‍රාන්තයේ ජීවත් වෙති. ත්‍රිපුර යනු ඉන්දියාවේ තෙවැනි කුඩා ප්‍රාන්තය ද වෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS