තලේබාන් සටන් විරාමය දිගටම



රාමසාන් වෙනුවෙන් ආරම්භ කළ සටන් විරාමය තව දින කිහිපයක් පවත්වාගෙන යෑමට තලේබාන් ත්‍රස්ත සංවිධානය එකඟත්වය පළ කර ඇතැයි ඇෆ්ගන් රජය නිවේදනය් නිකුත් කරමින් කියා සිටියේය.

රාමසාන් සමරමින්, මිතුදම් වර්ධනය කරගනිමින්, තලේබාන් ත්‍රස්ත සාමාජිකයන් සහ ඇෆ්ගන් හමුදා සොල්දාදුවන් එකිනෙකා වැළඳගෙන සුබ පතන අයුරු පමණක් නොව, සෙල්ෆි ඡායාරූප ගන්නා අයුරු ද දැක්වෙන වීඩියෝ දසුන් විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය.

ඉකුත් සතියේ ආරම්භ වුණු මෙම සටන් විරාමයට ගරු කරමින් තලේබාන් සංවිධානය කටයුතු කිරීම, ඇෆ්ගන් ජනාධිපති අෆ්රාෆ් ඝානීගේ පැවැසුමට හේතුවක් වී ඇත. ඔහු යෝජනා කර ඇත්තේ සටන් විරාමය හරහා සාම සාකච්ඡා පැවැත්විය යුතු බවත්, සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටුම් අවසන් කළ යුතු බවත්ය.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තලේබාන් ත්‍රස්ත සංවිධානය කණ්ඩායම් කිහිපයකි. ඇතැම් කණ්ඩායම් සමඟ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීහු ද එක් වී සිටිති. මෙම තලේබාන් කණ්ඩායම් සෙසු තලේබාන් කණ්ඩායම්වලට එරෙහිව යන බව වාර්තා වේ. මොවුන් මෙම සටන් විරාමයට එකඟ වී නැත.

මෙම ත්‍රස්තවාදීහු පසුගිය දා ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතේ බෝම්බ පිපිරීමක් ද කළහ. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වූ අතර ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඇතුළු 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 54 කි.

(රොයිටර්)


RECOMMEND POSTS