තල්මසුන් 180 දෙනා බේරාගන්න මහ සටනක්



දකුණුදිග ඕස්ටේලියාවට අයත් ටැස්මේනියාවේ, මුහුදු වෙරළක් අද්දරට ගොඩ ගැසූ තල්මසුන් 180 දෙනකු බේරා ගැනීමට ඕස්ටේලියා වැසියෝ කාලය සමඟ සටන් කරමින් සිටින බව එරට පුවත් සේවා වාර්තා කළේය.

වෙරළ අද්දරට ගොඩ ගසා ඇත්තේ ‘පයිලට් වේල්’ (නියමු තල්මසුන්) ලෙස හැඳින්වෙන ප්‍රමාණයෙන් කුඩා තල්මසුන් විශේෂයකි. වෙරළට ගොඩ ගැසූ තල්මසුන් ගණන 270 කි. ගැඹුරු මුහුදට යෑමට නොහැකිව එයින්, තල්මසුන් 90 දෙනකු මේ වනවිටත් මියගොස් ඇතැයි පැවැසෙයි.

ඕස්ටේලියා සාගර ජීව විද්‍යාඥයන්, වෙරළාරක්ෂක නිලධාරීන්, සතුන් සුරැකීමේ සංවිධානවල ක්‍රියාකාරීන් පමණක් නොව, ධීවරයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රදේශවාසීන් 60 කට වැඩි පිරිසක්, පවතින දැඩි සීත කාලගුණය ද නොතකා තල්මසුන් ගැඹුරු මුහුදට තල්ලු කිරීමේ අසීරු මෙහෙයුමට සම්බන්ධ වී සිටින බව පැවැසෙයි.

‘තල්මසුන් රංචු මුහුදේ යද්දී මඟ වැරදීමෙන් වෙරළ දෙමට පැමිණ ආපසු ගැඹුරු මූදට යෑමට නොහැකිව වෙරළේ කොටුවෙනවා. ඒත් මෙතරම් විශාල තල්මසුන් රංචුවක් මෙවැනි අකරතැබ්බකට ලක්වුණු පළමු අවස්ථාව මෙයයි’ යැයි සාගර ජීව විද්‍යාඥ ක්‍රිස් කාර්ලොන් පවසා තිබේ. තල්මසුන් 180 දෙනා පණ පිටින් ආපසු ගැඹුරු මුහුදට තල්ලු කිරීම කිසිසේත් පහසු කටයුත්තක් නොවන බවත්, දින කීපයක් ඒ සඳහා වෙහෙසවීමට සිදුවුනු ඇති බවත් පැවැසෙයි.

සිඞ්නිහිදීය (ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS