ඩොමිනිකා අගමැති නිවස ගසාගෙන ගිහිල්ලා



කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මරියා’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව කැරිබියානු දූපත්වලට අයත් ඩොමිනිකන් දූපත් රාජ්‍යයට කඩා වැදුණේ නිවාස සහ ගොඩනැගිලි සුනුවිසුණු කරමිණි.

‘මරියා’ සුළි කුණාටුව ඩොමිනිකා දූපතට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 260 ක තද සුළං සහ මහ වැසි ද සමඟය. ‘මරියා’ සුළි කුණාටුව පිළිබඳ දූපත් වැසියන්ට කල්තියා අනතුරු ඇඟවිණි. ඩොමිනිකන් ජනරජයේ ගුවන්තොටුපොළ සහ වරාය වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ.

‘මරියා’ සුළි කුණාටුවෙන් සිදුවුණු ජීවිත හානි ගැන මෙතෙක් වාර්තා වී නැති නමුත් සිදුවුණු හානිය වචනයෙන් විස්තර කළ නොහැකි බව සිය ෆේස්බුක් පණිවුඩ හරහා ඩොමිනිකා දූපතේ අගමැති රූස්වෙල් ස්කෙරිට් පවසා ඇත.

ඩොමිනිකන් අගමැති රූස්වෙල් ස්කෙරිට් වැඩි දුරටත් පවසා ඇත්තේ ඔහුගේ නිවසේ වහලය ද සුළි කුණාටුවට හසුවී ගසා ගෙන ගිය බවය. ඇද හැලෙන මහ වැසි හේතුවෙන් අගමැතිවරයාගේ නිවස ජලයෙන් යටවී ඇත.

‘මරියා’ සුළි කුණාටුව ප්‍රබලත්වයෙන් 5 වැනි ස්ථානයේ පසුවන බව පැවැසෙයි. සුළි කුණාටුවක ප්‍රබලත්වය මැනීම සිදුවන්නේ එකේ සිට 6 දක්වාය. ප්‍රබලත්වයෙන් 5 සහ 6 යනු ජීවිත සහ දේපොළ හානි සිදු කරන බිහිසුණු සුළි කුණාටු යැයි පැවැසෙයි.

මීට සති කිහිපයකට පෙර ‘ඉර්මා’ නමැති සුළි කුණාටුව ඇමෙරිකාවට කඩා වැදුණේ ද මේ අයුරින් කැරිබියානු දූපත්වලට හානි සිදු කරමිනි. ‘මරියා’ සුළි කුණාටුව කැරිබියානු දූපත්වලට කඩා වැදුණේ ‘ඉර්මා’ සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සහන සේවා සිදුවෙද්දීය.
කැරිබියානු දූපත් අතර කුඩා රාජ්‍ය සහ ඇමෙරිකාවට සහ යුරෝපා රටවලට අයත් පාලක ප්‍රදේශ ලෙස සැලකෙන දූපත් ද ඇත.

‘මරියා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවීමේ අවදානමක් පැවැති හෙයින්, ප්‍රංශයට අයත් ගුදෙලූප් දූපත හිස් කිරීමට ද ප්‍රංශ හමුදාවේ මැදිහත් වීමෙන් සිදුවිය.  කාලගුණ විද්‍යාඥයන් බිය පළ කර ඇත්තේ පුවර්ටෝ රීකෝ, ඇමෙරිකා සහ බි්‍රතාන්‍ය වර්ජින් දූපත්, ශාන්ත කීට්ස් සහ නෙවිස්, ශාන්ත ලුසියා, ශාන්ත මාටින්, සාබා, ශාන්ත ඉයුස්ටියස් සහ අන්ගුවිලියා ආදී දූපත්වලට ‘මරියා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බවය.

(ඒ.එෆ්.පී./රොයිටර්)


RECOMMEND POSTS