ට්‍රම්ප් වරදක් කරලා නෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වරදක් කළ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ධවල මන්දිරය මේ බව නිවේදනය කළේ ට්‍රම්ප්ට එරෙහිව ගෙන ඒමට නියමිත දෝශාභියෝගය සම්බන්ධයෙනි.

දෝශාභියෝගය ගෙන ඒමට සූදානම් වන්නේ කොංග්‍රසයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට සූදානම් වන්නේ, ඩිමොක්‍රටික් කතා නායිකා නැන්සි පෙලෝසිය.

ඒ, ජනපති ට්‍රම්ප් ඔහුගේ පෞද්ගලික වාසිය වෙනුවෙන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් ජනපති ධුර අපේකෂක ජෝ බයිඩන්ට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි යුක්රේන ජනාධිපතිවරයාට කළ බලපෑම් මුල්කොට ගනිමින් ට්‍රම්ප්ට එරෙහිව විශ්වාසභංගයන් ගෙන ඒමට ඩිමොක්‍රටික්වරු සැරැසෙති.

දෝශභියෝගය කොංග්‍රසට ඉදිරිපත් කිරීමට පෙර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි. ඒ පාර්ලිමේන්තු විනිසුරු මඬුල්ලක් හමුවේය. ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ බොහෝ දෙනකුගෙන් මෙම විනිසුරු මඬුල්ල සාක්ෂි සටහන් කර ගෙන ඇත. ජනපති ට්‍රම්ප්ට ද විනිසුරු මඬුල්ල හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් ලැබුණු නමුත් ට්‍රම්ප් සිය නීතීඥවරුන්ගේ උපදෙස් මත කියා සිටියේ තමන් විනිසුරු මඬුල්ල හමුවට නොයන බවය.

දෝශාභියෝගයට අදාල විමර්ශන කටයුතුවලදී ට්‍රම්ප් සිය ජනාධිපති බලතල අනිසි ලෙස යොදා ගනිමින්, විදෙස් රාජ්‍ය නායකයකුට බලපෑම් කළේ යැයි යන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි රැසක් ලැබී ඇති බව ඩිමොක්‍රටික්වරු පවසති.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS