ට්‍රම්ප් පළමු වරට මාස්ක් පලඳියි



මුහුණු ආවරණ (මාස්ක්) පැලඳීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පළමු වරට මුහුණු ආවරණයක් පැලැඳ ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මාස්ක් පැලැඳියේ, වොෂින්ටන් අගනුවර වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ සංචාරයකට ගිය අවස්ථාවේදීය. ට්‍රම්ප් රෝහලට ගියේ තුවාල ලබා සිටින සොල්දාදුවන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සුවදුක් විමසා බැලීමටය.

‘මා කවදාවත් මාස්ක් පලඳින්න එපා කියලා නැහැ. මාස්ක් පලඳින්න ඕනෑ තැන් තියෙනවා නැතිනැත් තියෙනවා.’ යැයි මුහුණු ආවරණය පැලැඳ රෝහල බලා යෑමට ධවල මන්දිරයෙන් පිටතට පැමිණෙද්දී ජනපතිවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

‘මාස්ක් පැලඳීම ඇත්තටම හරි අපූරු දෙයක්. මා දිගටම මාස්ක් පලඳිනවා’ යැයි රෝහලෙන් පිටවෙද්දී, ට්‍රම්ප් ෆොක්ස් පුවත් නාළිකාව සමඟ පැවැසුවේය.

මේ වනවිට ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ගතවුණු පැය 24 ඇතුළත පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 66,600 පසු කළේ යැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දුන්නේය. ලොව පුරා ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ආයතනයක් ලෙස ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ඉදිරියෙන් පසුවෙයි.

‘කොවිඩ් 19’ වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්තවීමත් සමඟ මේ වනවිට මරණ 1,35,000 ක් වාර්තා වී තිබේ. වයිරස ආසාදිතයන් වැඩිවෙද්දී, ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් පැවැසුවේ, වයිරසය ආසාදනයවීම වළක්වා ගැනීමට මාස්ක් පැලැඳිය යුතු බවය. මේ වනවිට ජනපත රැසක මාස්ක් පැලැඳීම අනිවාර්ය කර ඇත. අවසන් වරට එසේ මාස්ක් පැලැඳීම අනිවාර්ය වූයේ ලුවිසියානා ජනපදයේය.

ඇමෙරිකාවේ වයිරස ව්‍යාප්තිය ඇරම්භයේ පටන් ජනපති ට්‍රම්ප් මාස්ක් පැලැදීම ප්‍රතික්ෂේප කළේය. මාස්ක් පලඳිනවා ද නැද්ද යන්න තමන්ගේ තීරණයක් බවත් තමන් මාස්ක් නොපැලඳ සිටීමට තීරණය කළ බවත් ට්‍රම්ප් පැවැසුවේය. මාස්ක් පලඳින්නැයි බලකරමින් නීති ගෙන ඒම කළ නොහැකි බව ද ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය.

මෙම නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මාස්ක් පලඳින්නැයි ජනපති ට්‍රම්ප්ට බලපෑම් එල්ල වූයේ රිපබ්ලිකන් පක්ෂයෙනි.

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ය. බයිඩන් දිගින් දිගටම මාස්ක් පලඳින අතර, ඔහු පවසා ඇත්තේ ජනපති ධුරයට පත්වුවහොත් මාස්ක් පැලඳීම අනිවාර්ය කරන බවය. වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ජන රැළි නොපැවැත්වීමට ද බයිඩන් තීරණය කර ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS