ට්‍රම්ප් ආරක්ෂක උපදේශකවරයා මාරු කරයි



ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් එච්.ආර්. මැකැස්ටර් වෙනුවට එම ධුරයට ඇමෙරිකාවේ හිටපු එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් පත් කර ඇතැයි වාර්තා වේ.

ජෝන් බෝල්ටන්, ජෝර්ජ් බුෂ් පරිපාලන සමයේ ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.

ජෙනරාල් මැකැස්ටර් කළ සේවය අගය කරන බවත් ඒ වෙනුවෙන් තමන් ඔහුට ස්තුති කරන බවත්, ඉදිරියටත් මැකැස්ටර් තමාගේ මිතුරකු ලෙස කටයුතු කරනු ඇති බවත්, මැකැස්ටර්ගේ ඉවත් වීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති ට්‍රම්ප් පවසා ඇත.

නව ජාතික ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු බෝල්ටන්, උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් දළදඬු තීන්දු තීරණ ගත් අයෙකි.

මේ වනවිට ජනාධිපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කරමින් පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීමටය. ඒ සඳහා බෝල්ටන්ගේ සහාය ලබා ගැනීමට ට්‍රම්ප් සූදානම් වෙයි.

මීට සතියකට පෙර, රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ රෙක්ස් ටිලර්සන් එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය. ඊට හේතු වූයේ ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් හමුවීමට ගත් නිර්භීත තීරණය මුල්කොට ගනිමිනි.

ටිලර්සන් ඉවත් කිරීමෙන් පසු එම ධුරය සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ මයික් පොම්පියෝ වෙත ලබා දීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS