ජෝජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්න ඕනෑ



පොලිස් අත්අඩංගුවේ සිටිද්දී මියගිය මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර කළු ජාතික ජෝජ් ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු යැයි ෆ්ලොඞ්ගේ පවුලේ අය පමණක් නොව, ෆ්ලොයිඞ්ගේ දියණියගේ මව වන රොක්සි වොෂින්ටන් ද හඬා වැටෙමින් ඉල්ලීමක් කර තිබේ.

46 හැවිරිදි ෆ්ලොයිඞ් අවිවාහකයකු වන අතර, ඔහු සහ රොක්සි වොෂින්ටන් එකට ජීවත් වී ඇත. දෙදෙනාට අවුරුදු 6 ක ජියානා නමැති දියණියක් ද සිටී. ‘ෆ්ලොයිඞ් ආදරණීය පියකු බවත්, පදික වේදිකාවේ මාංචු දමා හුස්ම හිර කර මහා දැමිය යුතු අපරාධකරුවකු නොවන බවත් දියණිය ද තුරුළු කර ගනිමින් රොක්සි වොෂින්ටන් මාධ්‍ය හමුවේ පවසා ඇත. රොක්සි මෙසේ කියා සිටියේ, මිනියැපොලිස් නුවර ෆ්ලොයිඞ් වෙනුවෙන් පැවැති ගුණ සැමරුමකට එක් වෙමිනි.

ඩොලර් 20 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ ඇතැයි වෙළෙඳසැල් හිමිකරුවකු කළ පැමිණිල්ලකට අනුව, පොලිස් නිලධාරීන් සිවු දෙනකු පැමිණ එම වෙළෙඳසැල ඉදිරිපිට දී ජෝජ් ෆ්ලොයිඞ් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පසුගිය 25 වැනිදාය.

ජෝජ් ෆ්ලොයිඞ් සිටියේ නිරායුධව සිටි අතර, මාංචු දැමීමෙන් පසු පොලිස් නිලධාරීන් ඔහු බිම පෙරළා ගත්තේය. පොලිස් නිලධාරින් සිවු දෙනාගෙන් කෙනකු වූ සුදු ජාතික පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් පහත් වී, මුණින් අතට බිම දිගා කළ ෆ්ලොයිඞ්ගේ ගෙලෙහි දකුණු පැත්ත, එක් දණහිසකින් තද කර ගත්තේය. මිනිත්තු 8 ක් සහ තත්ත්පර 46 ක් පොලිස් නිලධාරී ඩෙරික් චෝවින්, ජෝජ් ෆොයිඞ්ගේ ගෙල තද කරගෙන සිටියේය. ‘මට හුස්ම ගන්න අමාරුයි’ කෙඳිරි ගෑ ෆ්ලොයිඞ් මියගියේය.

මරණය සිදුවුණේ ගෙල සිරකරගෙන සිටිද්දී හුස්ම හිරවිමෙන් යැයි ෆ්ලොයිඞ්ගේ පවුලේ අය මැදිහත් වී නීතීඥ සහාය ඇතිව, මිනසෝටා නීතිපතිගේ අවසරය ගෙන සිදු කළ දෙවැනි මරණ පරීක්ෂණයෙන් තහවුරු විය. සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින්, ෆ්ලොයිඞ්ගේ ගෙල සිරකරගෙන සිටිද්දී, සෙසු පොලිස් නිලධාරීන් වන ජේ. ඇලෙක්සැන්ඩර්, ෆ්ලොයිඞ්ගේ පිට තද කරගෙන සිටි අතර, තෝමස් ලේන් ෆ්ලොයිඞ්ගේ පාදවලින් අල්ලා ගෙන සිටියේය. පොලිස් නිලධාරී ටෝ තාඕ ඒ අසලට වී බලන් සිටියේය.

මේ වනවිට ඩෙරික් චෝවින්ට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති අතර, ඔහු ලබන සතියේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී නැති අතර ඔවුහු නිදැල්ලේ පසුවෙති. ඔවුන් ද වහා අත්අඩංගුවට ගන්නැයි විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS