ජපානය කැලැඹෙයි



රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ජපානයේ ඔසාකා නුවර අද (18) උදෑසන කැලැඹිණි.

භූමි කම්පාව හේතුවෙන් කුඩා දරුවකු ඇතුළු තිදෙනකු මියගිය බව වාර්තා වේ. තුවාල ලැබූ ගණන 150 කට ආසන්නය.

භූමි කම්පාව හට ගනිද්දී ඔසාකා වැසියෝ මහත් කලබලයට පත් වූහ. භූමි කම්පාවෙන් නිවාස සහ රැසකට හානි සිදුවී ඇත. භූමි කම්පාව හටගත්තේ ජපානයේ වේලාවෙන් උදෑසන 7.58 ට ය. ඒ කාර්ය බහුල වේලාවකය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ඔසාකා නගරයට ඔබ්බෙන්, කිලෝ මීටර් 13 ක් මුහුදු පතුළෙන් වාර්තා වූ බව පැවැසෙයි. භූමි කම්පාවත් සමඟ සුනාමි බියක් ද හටගත්තේය. කෙසේ නමුත් භූ විද්‍යාඥයන් සහතික වූයේ සුනාමියක් හට ගැනීමට කිසිදු ඉඩක් නැති බවය.

භූමි කම්පාව හටගන්නා අවස්ථාවේදී, කාර්යාල දුම්රිය සියල්ල මගීන්ගෙන් පිරී තිබුණි. භූමි කම්පාවත් සමඟ දුම්රිය ගමනාගමන කටයුතු නැවැතිණි.

නගරයේ විදුලි බල සැපැයුම්වලට බාධා එල්ල විය. බලධාරීන් වාර්තා කළේ නිවාස 1,70,000 කට විදුලි බලය අහිමි වුණු බවය. ඔසාකා නගරයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාරයක් ද පිහිටා නමුත් ඊට කිසිදු හානියක් සිදුවූයේ නැතැයි ද පැවැසෙයි.
දූපත් රාජ්‍යයක් වන ජපානය, භූමි කම්පා සහ සුනාමිවලින් නිරන්තරයෙන් බැටකයි. ජපානයට පිහිටා ඇත්තේ භූ තැටි මායිමක් අසලය වීම ඊට හේතුවය.

මීට පෙර, ඔසාකා නුවර මෙවැනි ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේ 1923 වසරේදීය. ජපානයේ කර්මාන්ත පුරය ලෙස සැලකෙන ඔසාකා වරාය වෙළෙඳ නගරයක් ද වෙයි. 2015 වසරේ එක්සත් ජාතීන්ගේ සංගනනයකට අනුව ඔසාකා නුවර ජනගහණය මිලියන 2.691 කි.

(රොයිටර්)


RECOMMEND POSTS