ජපන් ගවේෂණය යානය ග්‍රහකයක් අල්ලයි



පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 280 ක් දුරින් අභ්‍යවකාශයේ වේගයෙන් ඇදී යන ග්‍රහකයක් මතට රොබෝ යානයක් පතිත කිරීමට ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ ඊයේ (21) සමත් වූහ.

‘රයුගු’ නමැති මෙම ග්‍රහකයට පතිත කළේ ‘හයබූසා 2’ රොබෝ යානයයි. ‘හයබූසා 2’ යානය ‘රයුගු’ ග්‍රහකය බලා ගමන් ආරම්භ කළේ 2014 දීය.

ගවේෂණ යානය මීට මාස කීපයකට පෙර ‘රයුගු’ ග්‍රහකට සමීප විය. සුදුසු අවස්ථාවක් බලා යානය ‘රයුගු’ ග්‍රහකය මතට පතිත කිරීම සිදුවූයේ පෙරේදා දිනයේය.

‘හයබූසා 2’ යානය සතුව කුඩා රෝවර් යානා දෙකකි. එයින් එකක් වන ‘මිනෙර්වා 2’ ජපාන විද්‍යාඥයන්ගේ නිර්මාණයකි. අනෙක, ප්‍රංශ සහ ජර්මන් විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූ ‘මැස්කොට්’ නමැති රෝවරයයි.

‘හයබූසා 2’ යානය සහ රෝවර් යානා ‘රයුගු’ ග්‍රහකය ගවේෂණය කරමින් දත්ත රැස් කිරීමට නියමිත බව පැවැසෙයි. ‘හයබූසා 2’ යානය 2020 දී යළි පෘථිවිය බලා පැමිණීමට ද නියමිතය. ‘රයුගු’ ග්‍රහකය ගවේෂණය කිරීමෙන් විශ්වයේ රහස් රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව ජපාන විද්‍යාඥයෝ විශ්වාස කරති.

ටෝකියෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS