ජපන් අගමැති ට්‍රම්ප් හමුවෙයි



ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි ජපාන අගමැති ෂෙන්සෝ අබේ සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ප්‍රධාන මාතෘකාව වූයේ උතුරු කොරියාවය.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට සූදානමින් සිටී. එම හමුව සිදුවන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් උතුරු කොරියානු බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට, ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී මයික් පොම්පියෝ පසුගිය දා රහසේ උතුරු කොරියාවට ගිය බව ද අනාවරණය වී ඇත.

උතුරු කොරියාව ඔවුන්ගේ දිගු දුර මිසයිල අත්හදා බලද්දී, එය ජපානයට තර්ජනයක් විය. එම තර්ජන හමුවේ උතුරු කොරියාව සම්බන්ධයෙන් ‘හමුදාමය’ ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය බව අගමැති අබේ පෙන්වා දුන්නේය.

ඒ අනුව, ජනමත විමසුමක් පවත්වමින් අබේ හදිසි මැතිවරණයක් පැවැත්වීය. එම මැතිවරණයෙන් අබේ විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. ඉන්පසු දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමු වරට, ජපානය ඔවුන්ගේ හමුදාවට වැඩි බලතල ලබා දී ශක්තිමත් කළේය.

දකුණු කොරියාවේ මැදිහත් වීමෙන් උතුරු කොරියාව සාමයට කැප වුණේ ඉන්පසුවය. උතුරු කොරියාවෙන් ජපානයට එල්ල වුණු තර්ජව ද ඒ අනුව පහව ගියේය. ඒ අනුව, ජපන් අගමැතිට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල විය. හදිසි මැතිවරණයක් පවත්වා යළි බලයට පත්වීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් දොස් අහන්න සිදුවිය.

ජපාන අගමැතිවරයා පමණක් නොව, බිරිඳ අකී අබේ ද ඇමෙරිකා සංචාරයට එක් වී සිටින්නීය. ජනාධිපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ෆ්ලොරීඩාවේ මාර් ආ ලාගෝහි පිහිටි ඔවුන්ගේ නිවාඩු නිකේතනයේදී ජපන් අගමැති සහ බිරිඳ වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

උතුරු කොරියාව සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සම්බන්ධයෙන් අබේ සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්වූයේ ඉන්පසුවය. එම අවස්ථාවේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කල්පනාවෙන් කටයුතු කරන්නැයි ජපාන අගමැතිවරයා ට්‍රම්ප්ට පැවැසූ බව ද වාර්තා වේ.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ පවත්වන සාකච්ඡා ඵලදායී නොවන බව පෙනී යන්නේ නම්, සාකච්ඡා වහා නවත්වන බවට ජනාධිපති ට්‍රම්ප්, ජපාන අගමැතිවරයාට පොරොන්දුවක් ද ලබා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS