ඝාතකයා නීතීඥ සහාය ප්‍රතික්ෂේප කරයි



අධිකරණයේ දී තමන්ට නීතීඥ සහාය අවශ්‍ය නොවන බවත්, තමන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තබා 50 දෙනකු අමුඅමුවේ මරා දැමූ සුදු අන්තවාදී  ඕස්ටේ‍්‍රලියානු ජාතික 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරැන්ට් පවසා ඇතැයි නවසීලන්ත පුවත් සේවා වාර්තා කරයි.

බ්‍රෙන්ටන් ටැරැන්ට් නවසීලන්තයේ දකුණු දිවයිනේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබුවේ පසුගිය සිකුරාදා (15) වැනිදාය.

බ්‍රෙන්ටන් ටැරැන්ට් දක්ෂිණාංශික අදහස් දරණ අයෙකි. ඝාතන සිදු කිරීමට පෙර, තමා එම ඝාතන සිදු කරන්නේ ඇයිදැයි පෙන්වා දෙමින්, පිටු 74 කින් සමන්විත විශේෂ ලියවිල්ලක් ට්විටර් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ. එයින් පිටපතක් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්  ද යවා ඇති බව පැවැසෙයි.

නීතීඥ සහාය ප්‍රතික්ෂේප කරමින්, අධිකරණයේ දී තමන් වෙනුවෙන් පෙනී සිටීමට බ්‍රෙන්ටන් ටැරැන්ට් කැමැත්ත පළ කිරීමෙන් පෙනී යන්නේ, බ්‍රෙන්ටන් ටැරැන්ට් සිය නඩු විභාගය හරහා අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීමට උත්සාහ ගැනීමක් යැයි නවසීලන්ත පුවත් සේවා පෙන්වා දෙයි.

අත්අඩංගුවට ගත් බ්‍රෙන්ටන් ටැරැන්ට් ඉකුත් සෙනසුරාදා (16) ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර පුද්ල ඝාතන චෝදනා ඔහුට එල්ල විය. තවත් චෝචනා රැසක් බ්‍රෙන්ටන් ටැරැන්ට්ට ගොනු කිරීමට නියමිත බව ද පැවැසිණි. ඒ අනුව ලබන 5 වැනිදා තෙක් බ්‍රෙන්ටන් ටැරැන්ට් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ද වාර්තා විය. නීතීඥ සහාය ප්‍රතික්ෂේප කරමින්, නඩු විභාගය හරහා, අන්තවාදී අදහස් සහ ආකල්ප ප්‍රචලිත කිරීමට බ්‍රෙන්ටන් ටැරැන්ට් උත්සාහ කරනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

බ්‍රෙන්ටන් ටැරැන්ට් කළ වෙඩි ත 40 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් 34 දෙනකුගේ තත්ත්වය බරපතල බවත්,  සිවු හැවිරිදි දැරියක ද ඒ අතර සිටින බවත් නවසීලන්ත රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බ්‍රෙන්ටන් ටැරැන්ට් ගිනි අවි කීපයක් භාවිතා කළේය. ඒ සියල්ල ඔහු නීත්‍යාණුකූලව මිලදී ගත් ඒවාය. ගිනි අවි වෙනුවෙන් අදාල ලියකියවිලි සහ බලපත්‍ර බ්‍රෙන්ටන් ටැරැන්ට් සතුව ඇත. ඒ අනුව, නවසීලන්තයේ ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට පියවර ගන්නා බව අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් පවසා ඇත.

බ්‍රෙන්ටන් ටැරැන්ට් මෙම ඝාතන සිදු කළේ ඒ දසුන් ඔහුගේ ෆේස්බුක් සමාජ ජාල ගිණුම ඔස්සේ සජීවීව විකාශය කරමිනි. ඔහු එය කළේ පැළඳි හෙල්මට්ටුවේ තිබූ කැමරාවේ ආධාරයෙනි. බොහෝ දෙනාගේ විරෝධය එල්ල වෙද්දී, ප්‍රසිද්ධියට පත් වන්න වූ එම දසුන් පැය 24 ක් ඇතුළත ඉවත් කිරීමට ෆේස්බුක් බලධාරීහු කටයුතු කළහ. ඉවත් කළ වීඩියෝ දසුන් ප්‍රමාණය මිලියන1.5 ක් යැයි ද පැවැසෙයි.

ක්‍රයිස්ට්චර්ච්හිදීය (රොයිටෙර්ස්)


RECOMMEND POSTS