ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි



කරච්චි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණු පාකිස්තාන ගුවන් යානයේ පියසැරි දත්ත සටහන් ඇතුළත් කළු පෙට්ටිය සොයා ගැනීමට හැකිවී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව යානය කඩා වැටීමට හේතුව අනාවරණය කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ද විමර්ශන කටයුතුවල නියැලි බලධාරීහු පවසති. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පරීක්ෂණ සඳහා සිවු පුද්ගල විමර්ශන කමිටුවක් පත් කර ඇත.

මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ගුවන් යානය තාක්ෂණික දෝෂයක් නිසා කඩා වැටුණු බව යැයි එම විමර්ශන කමිටුව කියයි. අනතුර සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් මාසයක් ඇතුළත අගමැතිවරයාට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

කඩා වැටුණු ‘එයාර්බස් ඒ 320’ වර්ගයේ එම මගී ගුවන් යානය පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එකකි. එය ලාහෝර් සිට කරච්චි බලා පැමිණියේ පසුගිය සිකුරාදා (22) ය. යානය දෙවරක් කරච්චි ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමුවන් උත්සාහ කළ ද යම් හේතුවක් නිසා එය ආසාර්ථක විය. යානය කරච්චි නුවර නිවාස පිහිටි ප්‍රදේශයක් අසලට කඩා වැටුණේ ඉන්පසුවය.

අනතුරට පත් වන අවස්ථාවේදී යානයේ 99 දෙනකු සිටි අතර දෙදෙනෙක් තුවාල ලබා දිවි ගලවා ගත්හ. පිලිස්සුම් තුවාල ලබා දිවි බේරා ගත් එක් අයකු 24 හැවිරිදි තරුණයකි. ඔහු මොහොමද් සුබෙයා ය. අනෙක් තැනැත්තා පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්ත මහ බැංකුවේ ප්‍රධානියා සෆාර් මසූඞ් ය.

කරච්චියේදීය (රොයිටර්)


RECOMMEND POSTS