ගුරුවරුන්ට ගිනි අවි පුහුණුවක්



ඇමෙරිකාවේ පාසල්වල ගිනි අවි නිසා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට, පාසල් ගුරුවරුන්ට මනා ගිනි අවි පුහුණුවක් ලබා දී, ගිනි අවියක් ළඟ තබා ගැනීමට අවසර දිය යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යෝජනා කරයි.

පසුගිය 14 වැනිදා, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම කළේ එම පාසලේ ඉගෙනුම් ලබමින් සිටියදී, විනය විරෝධී කාරණා නිසා පාසලෙන් නෙරපා දැමුණු 19 හැවිරිදි සිසුවෙකි.

නිකොලාස් කෲස් නැමැති එම සිසුවා පාසලට කඩා වැදී ඉවක් බවක් නොමැතිව කළ වෙඩි තැබීමෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනා පාසල් සිසු සිසුවියෝය. පොලිසිය වහා ක්‍රියාත්මක වී, නිකොලාස් කෲස් ජීවග්‍රහයෙන් අල්ලා ගත් බව වාර්තා විය. මේ වනවිට ඔහුට නඩු පැවැරීමක් සිදු කර ඇති බව ද පැවැසෙයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඇමෙරිකාවේ ගිනි අවි සම්බන්ධයෙන් සහ ගිනි අවි නිසා පාසල්වල සිදුවන මෙවැනි ඝාතන සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ට දැඩි විරෝධයක් එල්ල වන්න විය. ෆ්ලොරීඩා ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ සිසු සිසුවියෝ ගිනි අවි පාලනය කරන්නැයි ට්‍රම්ප්ට බල කරමින් විරෝධතාවල නියැලුණාහ. ඇමෙරිකාව පුරා ප්‍රධාන උසස් පාසල් රැසක සිසු සිසුවියන් ද එම විරෝධතාවට සහාය පළ කරමින් විරෝධතාවල නියැලුණු බව ද වාර්තා විය.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේ විශේෂ හමුවක් පැවැත්විණි. ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ වෙඩි ප්‍රහාරයට ලක් වී දිවි ගලවා ගත් සහ එම ප්‍රහාරයෙන් කම්පනයට පත් සිසු සිසුවියෝ, වෙඩි ප්‍රහාරයෙන් මියගිය සිසු සිසුවියන්ගේ දෙමාපියෝ, පොලිස් ප්‍රධානීහු පමණක් නොව, උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයෝ ද මෙම හමුවට එක් වූහ.

සිදුවුණු ඛේදවාදකය සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සහ උසස් පාසලේ සිසු සිසුවියන් සමඟ කතා කළේය. මියගිය දියණියන් දෙදෙනකුගේ පියවරු දෙදෙනෙක් ද එම හමුවට පැමිණ සිටියහ. ඔවුහු කඳුළු සළමින්, සිදුවුණු ඛේදවාචකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් දක්වූහ. මේ සියල්ල සජීවී ලෙස ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. ගිනි අවි පාලනය සම්බන්ධයෙන් ට්‍රම්ප් උදාසීනව කටයුතු කරනවා යැයි මෙහිදී ට්‍රම්ප්ට දොස් අහන්න සිදුවිය.

ජනපති ට්‍රම්ප් ඉතා සන්සුන්ව සාවදානව හැමගේ අදහස්වලට කන් දුන්නේය. ෆ්ලොරීඩා උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට පත්ව සිටින බව ද ට්‍රම්ප් අවධාරණය කළේය. පාසල් ගුරුවරු වෙනුවෙන් ගිනි අවි පුහුණුවක් ලබා දීමටත්, පාසලේ එක් ගුරුවරයකුට හෝ ගිනි අවියක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යෝජනා කළේ මෙම අවස්ථාවේදීය.

පාසලක මනා ගිනි අවි පුහුණුවක් ලැබූ ගිනි අවියකින් සන්නද්ධ ගුරුවරයෙකු සිටියහොත්, ‘කඩිනමින්’ මහ ඛේදවාචකයක් වළක්වා ගන්න හැකියාව තිබෙනවා යැයි ජනපති ට්‍රම්ප් එම අවස්ථාවේදී වැඩිදුරටත් පැහැදිලි කළේය.
ෆ්ලොරීඩා පාසලේ සිදුවුණු වෙඩි තැබීමෙන් පසු, ඇමෙරිකාවේ ගිනි අවි සඳහා ‘බම්ප් ස්ටොක්’ උපාංග තහනම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පසුගියදා කටයුතු කළේය.

‘බම්ප් ස්ටොක්’ යනු රයිෆලවලට සවි කරන කොටසකි. මෙම අමතර කොටස සවි කර ඇති විට, කොකා ගැස්සීමේදී එක දිගට වෙඩි ප්‍රහාර වැලක් පහසුවෙන් එල්ල කළ හැකි වෙයි.

ෆ්ලොරීඩා පාසලේ වෙඩි තැබීමේදී, වෙඩි තැබීම කළ ගැටවරයා මෙම ‘බම්ප් ස්ටොක්’ උපාංග භාවිතා කළේ යැයි පොලිසිය පවසා ඇත. ඇමෙරිකාවේ මීට පෙර සිදුවුණු වෙඩි තැබීම් රැසක් සඳහා ද ‘බම්ප් ස්ටොක්’ උපාංග භාවිතා කර තිබුණු බව ද වාර්තා වේ.

ගිනි අවි ළඟ තබාගෙන සිටින ඇමෙරිකානුවන් ගැනත්, ගිනි අවි මිලදී ගන්නා ඇමෙරිකානුවන් ගැනත් පසුබිම් විස්තර, ඔවුන්ගේ මානසික තත්ත්වය ආදිය ගැන විස්තරාත්මක ලෙස සොයා බැලීම් කළ යුතු යැයි ද රිපබ්ලිකන් පාක්ෂික ජනපති ට්‍රම්ප් පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS