ග්‍රහකයෙන් සූරාගත් සාම්පල මඟදී හැලිලා



නාසා යානය සාම්පල ලබා ගත් අවස්ථාව, එහි කැමරාවෙන් දකින්න ලැබුණේ මෙලෙසිණි.

නාසා රොබෝ යානය, ග්‍රහකයක් ලුහුබැඳ ගොස්, අසීරු මෙහෙයුමකින් පසු, එක්රැස් කරගත් පස් සහ දූවිලි සාම්පල ආපහු පෘථිවිය ගෙන එද්දී අකරතැබ්බකට මුහුණ පා ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බෙන්නු නමැති මීටර් 20 ක් පළලැති, පැයට සැතපුම් 63,000 ක වේගයකින් විශ්වයේ ඇදී යන ග්‍රහකය ලුහුබැඳගොස්, ඊට සමාන්තර වේගයක් පවත්වා ගනිමින්, විශේෂ රොබෝ අතක අධාරයෙන්, පස් සහ දූවිලි සූරා එකතුකර ගැනීම කළේ ‘ඔසයිරිස් රෙක්ස්’ නමැති රොබෝ යානයයි.

‘ඔසයිරිස් රෙක්ස්’ යානයට සාම්පල සූරා ලබා ගැනීමට පැය හතකර වැඩි කාලයක් ගත විය. ලබා ගත් පස් සහ දූවිලි සාම්පල ප්‍රමාණය ග්‍රෑම් 400 කි. එය නියමිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකි.

යානයේ සාම්පල ඇසුරුම් කුටිය පමණ ඉක්මවා පිරී ගොස් ඇති අතර, එය නිසි ලෙස වැසී නොතිබුණු බව පැවැසෙයි. යානය ආපසු පෘථිවිය බලා වේගයෙන් පැමිණෙද්දී, ඇසුරුමේ පස් සහ දූවිලි සම්පාලවලින් කොටසක් අභ්‍යවකාශයට විසිරී ගොස් ඇත්තේ ඒ අනුවය.

සිදුවුණු අකරතැබ්බ දැනගත් සැණින්, සාම්පල ඇසුරුම් කුටිය වසා සීල් තැබීමට පෘථිවියේ සිටින විද්‍යාඥයෝ සහ තාක්ෂණ ශිල්පීහු කටයුතු කළහ. මේ වනවිට ‘ඔසයිරිස් රෙක්ස්’ යානය යළි පෘථිවිය බලා පැමිණෙමින් ඇති අතර, එය පෘථිවියට ළඟා වනු ඇත්තේ 2023 වසරේදීය. පසුගිය 21 වැනිදා යානය බෙන්නු ග්‍රහකයට සමීප වූයේ 2018 වසරේදී පෘථිවියෙන් නික්ම යෑමෙන් පසුවය.

ඇමෙරිකාවේ නාසා ආයතනය ග්‍රහකයකට රොබෝ යානයක් යවා සාර්ථකව සාම්පල රැස් කරගත් පළමු අවස්ථාව මෙයයි. මීට පෙර මෙවැනි වික්‍රමයක් සිදු කර ඇත්තේ ජපානයයි. කෙසේ නමුත් ජපානයේ රොබෝ යානය යළි පෘථිවියට පැමිණෙන අයුරින් සකසා තිබුණේ නැත.

බෙන්නු ග්‍රහකය 2175 වසරේ දී පෘථිවියේ හැපීමට නියමිත අනතුරුදායක ග්‍රහකවලින් එකකි. එය ගවේෂණයට නාසා විද්‍යාඥයන් උනන්දු වන්නේ එහෙයිනි.

එපමණක් නොව, බෙන්නු, සෞරග්‍රහ මණ්ඩලය ආරම්භයේ දී සිදුවුණු පිපිරීම් සහ හැලහැප්පීම් හේතුවෙන් කැඩී වෙන්වී ගිය ග්‍රහක කැබැල්ලකි. එහි සාම්පල පරීක්ෂා කිරීමේදී විශ්වයේ රහස් පමණක් නොව, ජීවය ආරම්භයේ රහස් ද අනාවරණය කර ගැනීමට නාසා විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS