කියුබාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා



කියුබාව ත්‍රස්තවාදයට උඩගෙඩිදෙන සහ අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස නම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

‘ජාත්‍යන්තර ත්‍රස්තවාදයට කියුබාව අනුග්‍රහය දක්වනවා. ත්‍රස්තවාදීන් ආරක්ෂා කරනවා. වෙනිසියුලා අර්බුදයට මැදිහත් වෙනවා. බටහිර අර්ධගෝලයේ දේශපාලනික කටයුතුවලට ඇඟිලි ගසනවා. ඒ අනුව, කියුබාවට ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දැක්වීම යටතේ සම්බාධක පැනැවීමක් සිදුවේවි.’ යැයි ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන්, රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පැහැදිලි කර තිබේ.

ට්‍රම්ප් කියුබාව සම්බන්ධයෙන් මෙසේ තීරණයක් ගැනීම, ලබන 20 වැනිදා දිවුරුම් දී, ජනාධිපති ධුරයට පත් වන ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන්ගේ විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් උදා වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් උප ජනාධිපති ලෙස කටයුතු කළේය. ඇමෙරිකාව සහ කියුබාව අතරේ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට ඔබාමා සමත් විය.

2016 ජනාධිපතිවරණයෙන් බලයට පත් වී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය බාර ගනිද්දී, කියුබාවට පමණක් නොව, ඉරානයට ද කෙණහිලිකම් කිරීමට ට්‍රම්ප් පියවර ගත්තේය.

රම්ප්ට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ තව සති දෙකක් පමණි. ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත්තේ ලබන 20 වැනිදාය. එවිට ට්‍රම්ප්ගේ ධුර කාලය අවසන් වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS