කාශ්මීර අර්බුදයට මැදිහත් වෙන්නැයි මෝදි කීවා



ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුව ධවල පැවැත්වුණු අතර, කාශ්මීර අර්බුදයට මැදිහත් වෙන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ට ඇරැයුම් කළේ යැයි ජනපති ට්‍රම්ප් අගමැති ඉම්රාන්ට පැවැසීය.

මේ ගැන සතුටට පත් වෙමින්, පාකිස්තාන අගමැති ඉම්රාන් කියා සිටියේ, ඉන්දු කාශ්මීර අර්බුදයට පැහැදිලි දේශපාලනමය විසඳුමක් දීමට ට්‍රම්ප් මැදහත්කරුවෙකු වෙන්නේ නම් කෝටි ගණනක් කාශ්මීර වැසියන්ගේ ආශිර්වාදය ට්‍රම්ප්ට හිමිවනු ඇති බවය.

ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ධුරයට පත් වූයේ, කාශ්මීර අර්බුදයට පැහැදිලි දේශපාලන විසඳුමක් සොයන බවට පොරොන්දුවක් වෙමිනි.

අවස්ථා කීපයකදී අගමැති ඉම්රාන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට උත්සාහ කළ නමුත් අගමැති මෝදි ඊට කැමැත්තක් දැක්වූයේ නැත.

තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණියේ පසුගිය 21 වැනිදාය. අගමැති ඉම්රාන් ඇමෙරිකාවට පැමිණියේ ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුවය. ධවල මන්දිරයට පැමිණි පාකිස්තාන අගමැතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු කළේය.

ඉම්රාන් ඛාන් පාකිස්තාන අගමැති ලෙස ඇමෙරිකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, අගමැති ඉම්රාන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව ද මෙයයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS