කාබුල් විශ්ව විද්‍යාලයට ත්‍රස්ත ප්‍රහාරයක්



ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්ව විද්‍යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.

ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකරුවකු සහ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව වාර්තා වේ. ඔවුන් විශ්ව විද්‍යාලයට කඩා වැදීමට තැත් කරද්දී, ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිලධාරීන් පෙරළා වෙඩි තබා ඇත.
එම වෙඩි ප්‍රහාරය සමඟ බෝම්බකරු බෝම්බය පුපුරුවාගෙන ඇත.

ත්‍රස්තයන් විශ්ව විද්‍යාලයට ඇතුළු වූයේ නම්, මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව කාබුල් පොලිස් ප්‍රකාශක ෆරමරාස් ෆිඩෝව් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබුවේත් මියගියේත් විශ්ව විද්‍යාලය ඉදිරිපිට රැඳී සිටි සිසු සිසුවියන් යැයි ද පැවැසෙයි.

කාබුල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS