ඕස්ට්‍රේලියා නවසීලන්ත ගුවන් ගමන් යළි ඇරැඹේ



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ‘සංචාරක බුබුළු’ ක්‍රමය යටතේ නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් අතර ගුවන් ගමන් ඊයේ (19) සිට යළි ආරම්භ විය.

ඒ අනුව, කොරෝනා වසංගතය හේතුවෙන් දෙරට සිරවී සිටි පවුල්වලට නවසීලන්තයටත් ඕස්ට්‍රේලියාවත්ටත් යෑමට ඒමට හැකියාව ලැබුණි. ‘සංචාරක බුබුළු ක්‍රමය’ ක්‍රියාත්මක වන්නේ, ඔවුන්ට නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට පැමිණි විට නිරෝධායන ක්‍රියාවලයට යොමු වීම අනිවාර්ය වන්නේ නැත.

නිරෝධායනයට ලක් නොවී, ගුවන් ගමන් ආරම්භ කරන්නේ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත වැසියන් වගකීමෙන් කටයුතු කරනු ඇති බවත්, සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළ කරන බවත් දෙරටේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

‘දින 400 කට පසුවයි මේ අයුරින් ඕස්ට්‍රේලියා නවසීලන්ත ගුවන් ගමන් ආරම්භ වන්නේ. දිනපතා ගුවන් ගමන් 16 ක් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරේ ක්‍රියාත්මක වෙනවා.’ යැයි ඕස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවයේ ප්‍රධානී ඇලන් ජොයිස් පවසා ඇත.

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 29,500 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 910 ක් ලෙසය. නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 2,200 කි. මරණ වාර්තා වන්නේ 26 ක් පමණි. ලෝකයේ ඉතා සාර්ථක අන්දමින් ‘කොවිඩ් 19’ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සමත් වූ රටක් ලෙස සැලකෙන්නේ නවසීලන්තයයි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් සමඟ සාකච්ඡා පවත්වමින් සංචාරක බුබුළු ක්‍රමයක් ආරම්භ කළත්, දේශසීමා සෙසු රටවල් සඳහා විවෘත කිරීමේ කිසිදු අදහසක් නැතැයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා ඇත.

සිඩ්නි නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS