ඔක්ස්ෆර්ඩ් එන්නත සියයට 90 ක් සාර්ථක කරන්න පුළුවන්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව, ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති එන්තතේ සාර්ථකත්වය සියයට 90 තෙක් වැඩි කර ගැනීමට හැකි බව ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.

‘ඇස්ට්‍රාසෙනකා’ යනු ලොව පිළිගත් ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව එන්නත නිපදවන්නේ මෙම සමාගම සමඟ හවුල් වෙමිනි.

ඊයේ (23) දිනයේ ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් නිවේදනය කළේ ඔවුන්ගේ එන්නතේ සාර්ථකත්වය සියයට 70 ක් පමණක් බවය.

‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම අද (24) කියා සිටියේ, එන්නතේ සාර්ථකත්වය සියයට 90 තෙක් වර්ධනය කර ගැනීමේ හැකියාව ඇති බවය.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම් නිපදවා ඇති එන්නත් සියයට 90 කට වඩා සාර්ථක බව පැවැසෙයි. ලබන දෙසැම්බර් 11 වැනිදා සිට මේවා ඇමෙරිකානුවන්ට එන්නත් කිරීමට ද නියමිතය.

‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසා ඇත්තේ ඇමෙරිකන් එන්නත්වලට වඩා ඔක්ස්ෆර්ඞ් එන්නත මිල අඩු වනු ඇති බවත්, පහසුවෙන් ගබඩා කිරීම හැකිවනු ඇති බවත්ය.

මේ අතර, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් බෙදා හැරීමේදී ලොව දිළිඳු රටවලට අසාධාරණයක් නොකිරීමට වගබලා ගැනීම කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වයිරසයට එරෙහිව සාර්ථක එන්නතක් ඇති නම්, එය සමානව ලොව සෑම රටකම, සෑම වැසියකුටම බෙදා දීම කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්නොම්ස් ගෙබ්‍රියේසිස් අවධාරණය කර තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS