එන්නත දෙසැම්බර් 11 වැනිදා ඇමෙරිකානුවන්ට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට, ඇමෙරිකා සමාගම් නිපදවූ එන්නත්, ලබන දෙසැම්බර් 11 වැනිදා සිට ඇමෙරිකානුවන්ට ලබා දෙන බව එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසයි.

ඇමෙරිකාවේ ඖෂධ පරිපාලනය, ඒවාට අනුමැතිය දීම සහ බෙදා හැරීම සිදු කරන්නේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හරහාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත්, ඇමෙරිකානු සමාගම් විසින් නිපදවනු ලැබ ඇති කොරෝනා වළක්වන එන්නත් සඳහා ඇමෙරිකන් වෛද්‍යවරුන්ගේත්, ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේත් අනුමැතිය හිමිවී තිබේ.

අතුරු ආබාධ කිසිවක් නොමැති, සාර්ථක එන්නත් ලෙස සැලකෙන්නේ, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ‘මොඩර්නා’ ජෛව පර්යේෂණ සමාගම නිපදවා ඇති එන්නත් දෙකය.

'ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි. ඒ සඳහා මුදල් ලබා දී ඇත්තේ ඇමෙරිකන් රජයයි. ඒ, එන්නත පළමුවෙන් ඇමෙරිකානුවන්ට ලබා දිය යුතුයි යන කොන්දේසිය යටතේය.

ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසන්නේ එන්නත් ලබා දීම දෙසැම්බර් 11 වැනිදා සිට ආරම්භ කරන බවත් ලබන 2021 මාර්තු මාසය යෙද්දී ඇමෙරිකානුවන් සියයට 70 කට එන්නත් ලබා දීමට බලාපොරොත්තු වන බවත්ය.

මේ වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 12,600,000 ට ආසන්නය. මරණ වාර්තා වන්නේ 2,62,700 ක් ලෙසය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS