උතුරු කොරියාවට පහර දෙන්න වෙනවා



උතුරු කොරියාව මිසයිල අත්හදා බලමින් දිගින් දිගටම ලොවට තර්ජනයක් වන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ උතුරු කොරියාව ගැන සාකච්ඡා පවත්වමිනි.

එම සාකච්ඡාවේදී ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ‘රොකට්මෑන්’ (රොකට්ටු මිනිසා) යනුවෙන් හඳුන්වා දී ඇතැයි ද පැවැසෙයි.

‘මිසයිල අත්හදා බැලීම් වහා නවත්වන්නත්, න්‍යෂ්ටික අවි තැනීම වහා නවත්වන්නත් උතුරු කොරියාවට සිද්ධ වෙනවා. එසේ නොකරන්නේ නම්, අපට සිද්ධ වෙනවා උතුරු කොරියාවට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්න’ යැයි ආරක්ෂක ප්‍රධානීන් හමුවීමෙන් පසු ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ඇමෙරිකා ජනාධිපති ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් සිය පළමු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට හෙට (19) සහභාගී වීමට නියමිත බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් මහ සමුළුව ඇමැතීමට ද නියමිතය. මහ සමුළුව අමතද්දී ජනාධිපති ට්‍රම්ප් දිනෙන් දින ලොවට තර්ජනයක් වන උතුරු කොරියාව සම්බන්ධයෙන් පමණක් නොව, ගෝලීය අර්බුද රැසක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS