උතුරු කොරියා නියෝජිතයා ඇමෙරිකාවේ



උතුරු කොරියා නායක කිම් ජොන් උන් නියෝජනය කරමින්, එරට බුද්ධි අංශ ප්‍රධානී කිම් යොංග් චෝල් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණියේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දකුණු අත ලෙස සැලකෙන්නේ ද කිම් යොංග් චෝල් ය. ඔහු වොෂින්ටන් බලැ පැමිණියේ කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට එවූ ලිපියක් ද රැගෙනය. ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡාවලදී මැදිහත් වී කටයුතු කරන්නේ ද කිම් යොංග් චෝල්ය.

ඇමෙරිකා රජයේ විශේෂ අවසරයක් ඇතිව, කිම් යොංග් චෝල් වොෂින්ටන් අගනුවර බලා පැමිණියේ චීනයේ බීජීං නුවර හරහාය. මැදපෙරදිග රටවල සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ යළි ඇමෙරිකාවට පැමිණ සිටින අතර, පොම්පේඕ සහ කිම් යොංග් චෝල් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවැනි හමුව, ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. කිම් යොංග් චෝල් වොෂින්ටනයට පැමිණියේ එම හමුව පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. හමුව පැවැත්වෙන ස්ථානය ගැන මෙතෙක් නිල වශයෙන් කිසිවක් ප්‍රසිද්ධියට පත් කර නැත. කෙසේ නමුත් හමුව වියට්නාමයේ දී පැවැත් වෙනු ඇතැයි සැක කෙරේ.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතරේ යහපත් සබඳතා වර්ධනය වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදීය. නායකයන් දෙදෙනා සිංගප්පූරුවේ දී එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර, නායක කිම් ජොන් උන් සාමයට කැමැත්ත පළ කළා පමණක් නොව, න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කිරීමට ද පොරොන්දු විය.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුවට මැදිහත්කරු ලෙස කටයුතු කළේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ය. ඊට අමතරව, චීනයෙන් ද සහාය හිමිවුණු බව පැවැසෙයි. ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා අතර එම හමුවට පෙර ද කිම් යොංග් චෝල් වොෂින්ටනයට පැමිණ ජනාධිපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීය. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පැවැත්වීමට නියමිත දෙවැනි හමුව සඳහා ද දකුණු කොරියාව සහ චීනය සහාය ලබා දෙන බව වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS