උතුරු කොරියා නායකයාට ට්‍රම්ප්ගෙන් ලිපියක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් තමන්ට ‘හරි අපූරු’ ලිපියන් ලැබුණු බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

න්‍යෂ්ටික අවිහරණය සඳහා කැපවී කටයුතු කරන තමා කෙරෙහි ඇමෙරිකන් ජනාධිපතිවරයා දක්වන විශ්වාසය, එම ලිපියේ අඩංගු කරුණුවලින් පැහැදිලි වුණැයි ද උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා තිබේ.

ජනාධිපති ට්‍රම්ප් මෙම ලිපිය උතුරු කොරියා නායකයාට යවා ඇත්තේ පෞද්ගලික මට්ටමිනි. එහි අඩංගු කරුණු කාරණා හෝ එය උතුරු කොරියා නායකයාට ලැබෙන්න සලස්වා ඇත්තේ කෙසේදැයි යන්න පිළිබඳ වාර්තා වී නැත.

පසුගිය දා නායක කිම් ජොන් උන්ගෙන් ද ට්‍රම්ප්ට ලිපියක් ලැබුණු බව ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ, තමන්ට උතුරු කොරියා නායකයාගෙන් ‘ලස්සන ලිපියක්’ ලැබුණු බවය. දෙදෙනා අතර පවතින මිත්‍රත්වය සහ විශ්වාසය එයින් තහවුරු වුණු බව ට්‍රම්ප් එම අවස්ථාවේදී පැවසා තිබුණි.

පසුගිය පෙබරවාරියේ, ට්‍රම්ප් සහ කිම්ගේ දෙවැනි හමුව, වියට්නාමයේ හැනොයි අගනුවරදී පැවැත්විණි. එහිදී උතුරු කොරියා නායකයා ප්‍රමුඛ නියෝජිතයන්ගේ ඉල්ලීම වූයේ න්‍යෂ්ටික අවිහරණය ආරම්භ කළ බැවින්, ඇමෙරිකන් සම්බාධක ලිහිල් කරන ලෙසටය. ඇමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමිනි.

න්‍යෂ්ටික අවිහරණයට කැපවී සිටියත් ප්‍රමාණවත් අන්දමින් එම කටයුතු සිදු නොවන බව පවසමින්, සම්බාධක ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම උතුරු කොරියාවේ ඉල්ලීම ඉවත දැමුවේය. ඒ අනුව, හැනොයි අගනුවර පැවැති සමුළුව බිඳ වැටුණි.

සාකච්ඡා බිඳ වැටුණ ද උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ තමා අතරේ පවතින විශ්වාසය පළුදු වී නැති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

සෝල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS