ඉම්රාන්ට මෝදිගෙන් පිළිතුරක්



නවතා දැමුණු ඉන්දු පාකිස්තාන සාම කතා යළි ආරම්භ කරමු යැයි පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් කළ යෝජනාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් යහපත් ප‍්‍රතිචාර ලැබී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

නවතා දැමුණු සාමකතා යළි ආරම්භ කරමු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන්, ඉන්දීය අගමැතිවරයාට දන්වා ඇත්තේ ලිපියක් යවමිනි. ඊට කැමැත්ත පළ කරමින් ඉන්දීය අගමැති මෝදි පෙරළා, ඉම්රාන්ට පිළිතුරු ලිපියක් යවා ඇත.

තව නොබෝ දිනකින් ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී ඇරැඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ, ඊට සහභාගී වන ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ පාකිස්තාන විදේශ ඇමැති මෙහ්මූස් කුෂේරි එකිනෙකා හමුවී, සාම කතා ආරම්භ කළ යුතු යැයි ඉම්රාන් ඛාන් යෝජනා කර තිබේ.

ඉන්දීය අගමැති මෝදි ඊට කැමැත්ත පළ කර ඇති අතර, සාම සාකච්ඡුා පළමු සඳහා තැබෙන පළමු පියවර එය වනු ඇතැයි ද පැවැසෙයි. පාකිස්තාන අගමැතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් සාම සාකච්ඡා පැවැත්වීමට ඉන්දීය අගමැති මෝදි කැමැත්ත පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය ප‍්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුරේ පැවැත්වෙන ඉන්දු පාකිස්තාන විදේශ ඇමැතිවරුන් හමුව සම්බන්ධයෙන් තම පූර්ණ සහාය ලබා දෙනවා යැයි ද ඇමෙරිකාව පවසා ඇත.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS