ඉන්දීය ගොවීහු වීදි බසිති



ගොවීන්ගේ නිෂ්පාදන සඳහා වැඩි මිලක් ලබා දීමේ අරමුණින්, ඉන්දීය රාජ්‍ය සභාවේ  සම්මත වූ නව පනත් කොටුම්පත් දෙකක් මුල්කොට ගනිමින්, ඉන්දියාවේ ප්‍රාන්ත රැසක විරෝධතා ආරම්භ වී තිබේ.

විරෝධතා සංවිධානය කර ඇත්තේ ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ඉන්දියාව පුරා ගොවි සංගම් රැසක් සහ ගොවීන් දස දහස් ගණනක් විරෝධතා සඳහා එක්ව සිටින බව පැවැසෙයි.

ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක, කලහකාරීව හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට පොලිසිය යෙදවිණි. එම අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගත්තේය.

ඉන්දීය ගොවීන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්නේ, නව පනත් හරහා, ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක මිල ආධාරක ක්‍රමය අහෝසිවනු ඇති බවත් එයින් ගොවීන්ට විශාල ආසාධාරණයක් සිදුවනු ඇති බවත්ය.

මෙම පනත් කෙටුම්පත් දෙක සම්මත කර ගැනීම සිදුවූයේ පසුගිය 20 වැනිදා ය. එම අවස්ථාවේදී විපක්ෂයෙන් විරෝධයක් එල්ල වුවත්, එම විරෝධයට නොසලකා පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම සිදුවිය. එම අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් කලහ කරන්න වූ අතර, එසේ කලහ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනකුට මන්ත්‍රණ සභාව තහනම් කෙරුණි.

ත්‍රිණමූල් කොංග්‍රසයේ ඩෙරික් ඕ බ්‍රයන්, ආම් ආද්මී පක්ෂයේ සන්ජේ සිං සහ කොංග්‍රස් පක්ෂයේ රජීවී සාතව් සතියක කාලයක් මන්ත්‍රණ සභාව තහනමට ලක්වුණු විපක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනා අතර සිටින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

මන්ත්‍රණ සභාව තහනම් කළ මන්ත්‍රීවරුන් අට දෙනා එම තහනම නොතකා මන්ත්‍රණ සභාවේ අසුන්ගෙන සිටි බැවින් එම අවස්ථාවේදී ද රාජ්‍ය සභාව උණුසුම් විය. ඉන්දීය පාර්ලිමේන්තුව ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. පහළ මන්ත්‍රී මණ්ඩලය එසේත් නැතිනම් නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය ලෝක් සභාව වන අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය, රාජ්‍යය සභාව ලෙස හැඳින්වෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS