ඉන්දියානුවන්ට එන්නත් ලැබේ



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වැලැක්වීමට නිපදවා ඇති එන්නත් දෙකක් අද (16) සිට ඉන්දියානුවන්ට ලබා දෙන බව ඉන්දීය මධ්‍යම රජය කියයි.

එන්නත් ලබා දීමේ මහා මෙහෙයුමට වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 3 ක් සහභාගී වන බවත්, රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන 3,006 කින් එන්නත් ලබා දීම සිදුවනු ඇති බවත් ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත.

ඊයේ (15) වනවිට එන්නත් ප්‍රධාන නගර 12 කට යැවීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කළේ විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ද යටතේය. එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇති නම්,  ඒවා විමසීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන සේවාවක් ද හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත.

එන්නත් ලබා දෙන්නේ නොමිලේ වන අතර, එන්නත ලබා ගැනීමට හැකි වන්නේ අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට පමණක් බව ද පැවැසෙයි.

ගැබිනි කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන්ට සහ අවුරුදු 18 ට අඩු කුඩා දරුවන්ට එන්නත ලබා නොදෙන බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඊට අමතරව, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ට, වෙනත් රෝග නිසා රෝහල්ගත වන පුද්ගලයන්ට ද එන්නත ලබා නොදෙන බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

ඔබට ඖෂධ ගැනීමේ දී යම් අසාත්මිකතාවක් ඇති නම්, ඒ බව එන්නත ලබා ගැනීමට පෙර සෞඛ්‍ය සේවකයන්ට පැවැසිය යුතු බව ද සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඉන්දියානුවන්ට එන්නත් වර්ග දෙකක් ලැබෙයි. එයින් එකක්, ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් ‘ඇස්ට්‍රා සෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වී නිපදවූ එන්නතය. මෙම එන්නත ‘ඇස්ට්‍රා සෙනකා’ සමාගම සමඟ එක් වී ඉන්දියාවේ ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන  සමාගම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි.

ඉන්දියාව සෙසු ආසියානු රටවලට ලබා දීමේ අරමුණින් ද එන්නත් නිපදවීම සිදු කරන බව පැවැසෙයි. පූනේ පිහිටි ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන  සමාගම ඉන්දියාවේ පිළිගත් ඖෂධ නිෂ්පාදන සමාගමකි.

ඉන්දියානුවන්ට ලැබෙන අනෙක් එන්නත සියයට සියයක් ඉන්දීය නිෂ්පාදනයකි. එම එන්නත නිපදවා ඇත්තේ ‘භාරත් බයෝටෙක්’ නමැති ඉන්දීය රජයේ අනුග්‍රහය ලබන ඖෂධ නිෂ්පාදන සමාගමය.

‘ඇස්ට්‍රා සෙනකා’ එන්නත තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් බොහෝ දුරට අවසන් කර ඇති නමුත් ‘භාරත් බයෝටෙක්’ එන්නත අවසන් කර ඇත්තේ, තෙවැනි අදියරේ මූලික අත්හදා බැලීම් පමණි.

‘භාරත් බයෝටෙක්’ හැඳින්වෙන්නේ ‘කෝවැක්සින්’ යන නමිනි. ‘සේරම්’ ඖෂධ සමාගම නිපදවන එන්නත නම් කර ඇත්තේ ‘කොවිෂිල්ඩ්’ යනුවෙනි. තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සම්පූර්ණ නොමැති බැවින්, ‘කෝවැක්සින්’ එන්නත පොදුවේ හැමෝටම ලබා දීමක් සිදු නොකරන බව ඉන්දීය ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘භාරත් බයෝටෙක්’ සමාගම සහතික වී ඇත්තේ ඔවුන්ගේ එන්නත සාර්ථක බවත් මේ වනවිට අවුරුදු 18 ට අඩු කුඩා දරුවන් යොදා ගනිමින් ද එන්නත අත්හදාබැලීම් සිදු කරන බවත්ය.

හදිසි අවස්ථාවක් සේ සලකා ඉන්දියානුවන්ට ‘කොවිෂිල්ඩ්’ සහ ‘කෝවැක්සින්’ එන්නත් ලබා දීම සිදුවන්නේ, ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී ඇති බැවිනි.

මෙම එන්නත් දෙක මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, පළමු එන්නත ලබා දී දින 28 කින් දෙවැනි එන්නත ලබා දීම සිදුවෙයි. ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වන්නේ දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසුවය.

පළමු එන්නත ලබා ගෙන ප්‍රවේසම් නොවුණහොත්, දෙවැනි එන්නත ලබා ගැනීමට පෙර, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීමේ අවදානමක් පවතී.

(රොයිටර්)


RECOMMEND POSTS