ඇයිහොඳයිකම් අවසන්



දකුණු කොරියාව සමඟ පවත්වන සියලු ඇයිහොඳයිකම් අවසන් බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් නිවේදනය කළේය.

උතුරු කොරියා නායකයා මෙම තීරණය ගෙන ඇත්තේ දකුණු කොරියාව, ඇමෙරිකාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාසයට විරෝධය පළ කරමින් යැයි පැවැසෙයි.

ඇමෙරිකාව සමඟ යුද අභ්‍යාස පැවැත්වීමෙන් වළකින්නැයි උතුරු කොරියාව දිගින් දිගටම දකුණු කොරියාවට අනතුරු අඟවා තිබුණි. උතුරු කොරියාව පසුගිය සති කීපය පුරා කෙටි දුර මිසයිල පහක් අත්හදා බැලුවේ ද දකුණු කොරියාවට විරෝධය දක්වමිනි.

කෙසේ නමුත් දකුණු කොරියාව, උතුරු කොරියාවේ විරෝධය තැකීමක් නොකර මේ වනවිටත් ඇමෙරිකාව සමඟ එක් වී යුද අභ්‍යාසය ආරම්භ කර තිබේ.

පස මිතුරන් වුණු උතුරු කොරියාව සහ දකුණු කොරියාව මිතුරන් බවට පත් වී, දෙරට අතර සාමකතා ඇරැඹුණේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති මුල්කොට ගනිමිනි. දෙරට අතර සාම කතා පැවැත්වුණු අතර දේශසීමාවේ ඇති බාධක සහ සෙබළුන් ඉවත් කිරීම පවා සිදුවිය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හිතවත්කම් වර්ධනය වූයේ ද දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙනි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වුණු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ.

මේ අතර, ජපාන පාලනයෙන් කොරියාවට නිදහස ලැබීම සමරමින් පැවැත්වුණු සැමරුම් උත්සවයකට සහභාගී වුණු දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ප්‍රතිඥා දුන්නේ 2045 වෙද්දී කොරියා අර්ධද්වීපය එක්සත් කිරීමට තමන් පියවර ගන්නා බවය. එකම ජාතියක් වෙසෙන කොරියාව උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන් වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුවය.

සෝල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS