ඇමෙරිකා රාජ්‍ය ලේකම් අගමැති මෝදි හමුවෙයි



තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් (ඇමෙරිකාවේ විදේශ ඇමැති) මයික් පොම්පේඕ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් අද උදෑසන නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවට පැමිණියේ 25 රාත්‍රියේය. ඒ, සෞදියේත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් කළ සංචාරයක් අවසන් කිරීමෙන් පසුවය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය අගමැති මෝදි හමුවූයේ නවදිල්ලියේ අගමැති නිල නිවසේදීය. අගමැති මෝදිගෙන් පොම්පේඕට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පොම්පේඕ සමඟ ඇමෙරිකන් නියෝජිත පිරිසක් ද මෝදි හමුවීමට අගමැති නිල නිවසට පැමිණ සිටියහ.

මෝදි හමුවුණු අවස්ථාවේදී අතට අත දෙමින්, පසුගිය ලෝක් සභා මැතිවරණයෙන්, විශිෂ්ට ජයක් හිමිකර ගැනීම සම්බන්ධයෙන් මෝදිට, මයික් පොම්පේඕ සුබ පැතුවේය. දෙදෙනා අතර සාකච්ඡා ඉන්පසු ආරම්භ විය. ට්‍රම්ප් පරිපාලනයත් ඉන්දියාවත් අතර අර්බුදයක් පවතී. ඇමෙරිකාව  ඉන්දියාවට ලබා දෙන ජී.එස්.පී. හෙවත් වරණීය තීරුබදු සහනය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

ඇමෙරිකාව ජී.එස්.පී. බදු සහනය හඳුන්වා දී ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ප්‍රගමනය වෙනුවෙනි. ඉන්දියාව ඇමෙරිකාවට, ඔවුන්ගේ වෙළෙඳපොළ හා ප්‍රවේශවීම සඳහා සමාන මෙන්ම සාධාරණ අවස්ථාවක් ලබා නොදෙන බවත්, ඉන්දියාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස තවදුරටත් සැලකිය නොහැකි බවත් පෙන්වා දෙමින්, ජනපති ට්‍රම්ප් ඉන්දියාට ලබා දුන් මෙම බදු සහනය ඉවත් කළේ යැයි පැවැසෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජී.එස්.පී. බදු සහනය ලැබෙන විශාලතම රට වූයේ ඉන්දියාවය.

ජී.එස්.පී. බදු සහනය සම්බන්ධයෙන් අගමැති මෝදි සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණි. ඉන්පසු ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් ආසියානු කලාපයටත් තර්ජනයක් වී ඇති අයි.එස්. හෙවත් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් හා ඉන්දියානුවන් වෙනුවෙන් ඇමෙරිකාව ලබා දෙන එච්.1බී. වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.

ඉන්දියාවත් ඉරානයත් අතර යහපත් සබඳතා පවතී. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනැවීම් සිදු කිරීමට පෙර ඉන්දියාව තෙල් ආනයනය කළේ ද ඉරානයෙනි. ඉරානයත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් මෝදි සහ පොම්පේඕ අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මෝදි හමුවීමෙන් පසු අද දහවල් ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සහ පෙමේපේඕ අතර හමුවක් පැවැත්විණි. දෙදෙනා වී සාකච්ඡා කරමින් දිවා ආහාරයට ද එක් වූහ.

අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් කලාපයට එල්ල වන තර්ජන, පාකිස්තාන අර්බුදය, ඉරාන අර්බුදය, චීනයෙන් එල්ල වන බලපෑම්, වෙළෙඳ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ද මයික් පොම්පේඕ සහ ඉන්දීය විදේශ ඇමැතිවරයා අතරේ සාකච්ඡා පැවැත්විණි.

රාජ්‍ය ලේකම් පොම්පේඕ සෞදියේත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් සංචාරය කළේ ඉරාන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉරානය අතර පවතින අර්බුදය යුද්ධයක් දක්වා දුරදිග යාවි යැයි බියක් හටගෙන ඇත. ඇමෙරිකාවත් ඉරානයත් අතර යුද්ධයක් හටගත්තොත් එය සමස්ත ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේම්, ඉන්දීය සංචාරය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට ද පැමිණීමට නියමිතව සිටියේය. කෙසේ නමුත් එම සංචාරය අවලංගු කෙරුණි.

ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් පසු පොම්පේඕ, දකුණු කොරියාවේ සෝල් අගනුවරට යෑමටත් ඉන්පසු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ එක් වෙමින්, ජපානයේ ඔසාකා නුවර පැවැත්වීමට නියමිත ලොව ආර්ථික බලවතුන්ගේ සමුළුව වන ‘ජී20’ සමුළුවටත් සහභාගී වීමට නියමිතය. මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි. සමුළුව අතරතුරේ මෝදි සහ ට්‍රම්ප් අතර හමුවක් පැවැත්වීමට නියමිත බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS