ඇමෙරිකන් පරීක්ෂකයන්ට අවසර



ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට වෙනිසියුලාවට ඇතුළුවීමට එරට ජනාධිපති නිකලස් මදුරෝ අවසර ලබා දී ඇත.

මෙම එෆ්.බී.අයි. නිලධාරීන් පිරිස වෙනිසියුලාවට පැමිණෙන්නේ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ඝාතන තැත සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටය. එෆ්.බී.අයි. කාර්යාංශය පරීක්ෂණයක් පැවැත්වීමට දෙන්නැයි වෙනිසියුලානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර, ජනාධිපතිවරයා ඊට අවසර ලබා දීමට කටයුතු කළේය.

පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත කුඩා ඩ්‍රෝන යානා දෙකක්, වෙනිසියුලා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කළේ පසුගිය 5 වැනිදාය. එම අවස්ථාවේදී, ජනාධිපති මදුරෝ කැරැකස් අගනුවර හමුදා සැමැරුම් උලෙළකට සහභාගී වෙමින් සිටියේය.

තමන් ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ අසල්වැසි කොලොම්බියාවේ ධුරයෙන් ඉවත් වුණු ජනාධිපති මැනුවෙල් සැන්ටෝස් යැයි ජනාධිපති මදුරෝ චෝදනා කරයි.

මදුරෝ වැඩි දුරටත් චෝදනා කළේ තමන් ඝාතනය කිරීමට ඇමෙරිකාව ද උත්සාහ ගන්නා බවය. මදුරෝ පමණක් නොව, මදුරෝට පෙර වෙනිසියුලාවේ ජනාධිපති ධුරය හෙබවූ හියුගෝ චාවේස් පවා නිරන්තරයෙන් චෝදනා කළේ ඇමෙරිකාව තමන් ඝාතනය කිරීමට උත්සාහ ගන්නා බවටය.

(රොයිටර්)


RECOMMEND POSTS